අනාගතේදි වර්චුවල් රියලිටිත් (VR) පරද්දන ඔග්මන්ටඩ් රියැලිටි (Augmented Reality) ගැන විස්තරයක් – Lakviru Media Network

0
232


 

අපි ලිවුවා වර්චුවල් රියැලිටි ගැන. ඒක ඇතුළෙ අපි ලිවුවා මෙහෙම පේළි දෙකක්. “වර්චුවල් රියැලිටි ‍කියන්නෙ ඉන්න තැනින් වෙනස් ලෝකෙකට අපිව ගෙනයාමක්. හැබැයි ඔග්මන්ටඩ් රියැලිටි කියන්නෙ ඉන්න ලෝකය ඇතුළෙ අපිට අවශ්‍ය මැවීම් කරන්න උදවු වෙන දෙයක්.”  ඔන්න ඔය කෑල්ල ඔලුවට ගත්තම අපිට මේ තාක්ෂණයන් දෙකම කොච්චර වැදගත් වුනත් ඒකෙන් එකක් අනාගතයට වඩා ප්‍රයෝජනවත් වෙයි නේද කියලා හිතෙන්න ගන්නව. ඒ තමයි ඔග්මන්ටඩ් රියැලිටි. මේ කියන්න යන්නෙ ඒ ගැන. ඒ ගැන වැඩි දුර හොයන්න ඔයාලට මේ ලිපිය ප්‍රවේශයක් වේවි.

 

1. ඔග්මන්ටඩ් රියැලිටි කියන්නෙ මොකද්ද?
Augmented Reality
Source – solidworks.com

ඔග්මන්ටඩ් රියැලිටි ගැන ඩෙෆිනිෂන් එක සිංහලේට මෙහෙම කරකවාගන්න පුළුවන්. අප ඉදිරියේ පවතින සාමාන්‍ය සජීවී ලෝකයේ මූලිකාංගවලට වීඩියෝ, හඬ සහ ග්‍රැෆික් මූලිකව කරන අමතර ජවයක් ලබාදීමක් විදියට ඒක හඳුන්වන්න පුළුවන්. සරළව කිවුවොත් අපිට මේ මොහොතෙ පේන වටපිටාවට සෘජු හෝ වක්‍ර බළපෑමක් කරන්න පුළුවන් ශබ්ද සහ රූප ඇතුළත් පරිගණක නිර්මාණයක්, ගැජට් එකක් හරහා ඇස් ඉදිරිපිට මැවීමක්.

 

2. වර්චුවල් රියැලිටියට වඩා යමක්
Augmented Reality
Source – digitalwebdeals.com

ඔග්මන්ටඩ් රියැලිටි කියන පරිගණක මැවීම සිද්ධ වෙන්නෙ අපිට දැන් දකින්න තියෙන වටපිටාවක් තුළ, අන්න ඒක නිසා වර්චුවල් රියැලිටියෙන් ප්‍රධාන වශයෙන්ම ඒක වෙනස් වෙනවා. උදාහරණෙකට මේකෙ වාසි ටික කිවුවොත් තව පිරිසකට අපිත් එක්ක මේ තාක්ෂණය නිසා ඉන්ටරෑක්ට් වෙන්න පුළුවන්. ඒක ‍වර්චුවල් රියැලිටියක තනියම සෙල්ලමක් කරනවට වඩා ආතල්. ඒ වගේම ඒක සම්පූර්ණයෙන් මවපු වර්චුවල් ලෝකෙක ඉඳන් ඉගෙනගන්නවට වඩා තමුන් පය ගහලා ඉන්න ලෝකෙම ඉඳගෙන ඒ දේවල් උපයෝගීත්වයෙන් මවපු වැඩි පැහැදිලි කිරීමක් සමගින් ඉගෙනගන්නට ලැබෙන වාසියත් ලැබෙන අවස්ථාවක්. ඒ වගේම කාටූන් වගේ දෙයක් තමුන්ගෙ ගෙදර වටපිටාවට ලින්ක් කරගෙන දකින්න ලැබෙන ආතල් එකත් මේකෙම හොඳක්. මේ ඔක්කොම අතර කැපී පෙනෙන වාසිය තමයි කලින් කියපු ඉගෙනගන්න තියෙන වාසිය. කොහෙවත් අඩිය ගහන්නැතුව වර්චුවල් වලින් ඉගෙනගන්නවට වඩා, ඇත්ත ලෝකෙම ඉඳගෙන වර්චුවල් ගුරුවරයෙක්ව තියාගෙන ඉගෙන ගන්න එකේ ප්‍රැක්ටිකල් බව වැඩියි. රියැලිටි කියන වචනෙ දාලා කිවුවොත් මේකට කියන්න වෙන්නෙ මීඩියේටඩ් රියැලිටි කියලයි. ඒ කියන්නෙ ඉතිං පවතින යථාර්ථයට මැදිහත් වීමක්. මේක නිසා මිනිසාට යථාර්ථයත් එක්ක වඩා හොඳට බද්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා වගේම පහසුවෙන්ම යථාර්ථයේ ඉදිරිය නිර්ණය කරන ඉඩත් ලැබෙනවා.

 

3. ඔග්මෙන්ටඩ් රියැලිටි වලින් ගතහැකි තවත් වැඩ
Augmented Reality
Source – brandingmag.com, military.com, augmentedrealitytrends.com, atheerair.com
  • මග පෙන්වීම් වලට
    දැන් ඔය මැප් එකක් දිහා බල බල ගමනක් යනවට වඩා ලේසිවෙයි ඔග්මෙන්ටඩ් රියැලිටි හරහා මේකට විසඳුමක් ආවහම. ඔග්මන්ටඩ් කණ්ණඩි දෙක දාගත්තහම අපි යායුතු මාර්ගය, ඒ අවට ස්ථාන ගැන විස්තර, මාර්ග තදබදය වගේ ගොඩක් තොරතුරු හරිම පහසුවෙන් ලබාගන්න පුලුවන් වේවි. සංචාරකයන් හටත් මේ වැඩේ සෑහෙන වාසියක් වේවි.
  • යුද්ධ කටයුතු
    කෙලින්ම AR හෙඩ් සෙට් එකක් දාගත්තහම හතුරන් ඉන්න ඉසවු, ප්‍රයෝජනවත් යුධ තොරතුරු, තමන්ට අණතුරුදායක විය හැකි අවස්ථා ගැන එහෙම දන්වන නිසා මේ තාක්ෂණය යුද්ධ කටයුතු වලදීත් ප්‍රයෝජනයට හිටිනවා.
  • වෛද්‍ය සහයට
    වෛද්‍ය කටයුතු වලට ඔග්මන්ටඩ් රියලිටි කියන්නෙ හොඳ සහායකයෙක්. හිතන්න සැත්කමක් එහෙම කරද්දි රෝගියාගේ ශරීරය සම්බන්ධ තොරතුරු සියල්ල ඔග්මන්ටඩ් ඩිවයිස් එකක් හරහා ලැබෙන අවස්ථාවක් ගැන.
  • රෙපෙයාර් වැඩ වලට
    සංකීර්ණ අලුත්වැඩියා කටයුතු වලදී එහෙම අවශ්‍ය තාක්ෂණික උපදෙස් දෘෂ්‍ය රෑප සටහන් ඇසුරින්ම ලබාගන්න පුලුවන් මේ ඔග්මන්ටඩ් රියලිටි තාක්ෂණය හරහා. පියවරෙන් පියවර මේ කටයුතු සිදු කරන ආකාරය ගැනත් සංකීර්ණ යන්ත්‍රෝපකරණ වල කොටස් ගැනත් වෙන වෙනම උපදෙස් සපයමින් මේ වැඩකටයුතු ලේසි කරන්න ඔගමන්ටඩ් රියැලිටි වලට පුලුවන්.


 

4. අනාගතේ
Augmented Reality
Source – abcnews.go.com

අනාගතේ ගැන අදහස් පළ කරන බොහෝමයක් අතරෙ හොඳම තාක්ෂණේ විදියට ඔග්මන්ටඩ් රියැලිටිය තෝරාගන්නට බොහෝ හේතු තියෙනවා. අපි අද කියන්නෙ ෆේස්බුක් එක්ක මේ ගැන වැඩ කරන විද්‍යාඥ මයිකල් අබ්‍රාෂ්ගෙ හේතු දැක්වීම් සමගයි. දිනෙන් දින දියුණු වෙන මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් හරහා වැඩි ආයෝජනයක් ඔග්මන්ටඩ් වෙනුවෙන් යොදවන්නෙ අත කහනවට නෙමෙයිනෙ.

මෙන්න හොඳම හේතුව. වර්චුවල් රියැලිටි ඔග්මන්ටඩ් තරම් සෝෂල් වෙන්නෙ නෑ. ඇයි ඉතිං මහපාරෙ පාවිච්චි කරන්න බැහැනෙ. ඒක හරියන්නෙ ඉන්ඩෝ වැඩකට. හැබැයි ඔග්මන්ටඩ් එළිපහලියකටත් එකසේ ප්‍රයෝජනවත්. අනික ඉතිං ඔග්මන්ට් කණ්නාඩි දාගෙන හිටියා කියලා පත වීආර් ග්ලාසස් දාගෙන ඉන්නව වගේ මැජික් එකක් වෙන්න තියෙන ඉඩත් එතනින්ම ඇහිරෙනවා. ඉතින් යථාර්ථෙට මුහුණ දෙන ගමන් ඕන තැනක යන්නත් පුළුවන් නිසා මේක වැඩිම මනාපෙන් අනා‍ගතේට සෙට් වෙනවා.

 

5. හොඳම ඔග්මන්ටඩ් රියැලිටි ඇප් ටික
Augmented Reality
Source – play.google.com, amikasa.com, ingress.com, twitter.com/ghost_snap

දැන් ඔය ඔග්මන්ටඩ් රියැලිටි ගැන හිතද්දි නිකංම කණ්ණාඩි දෙක දාගෙන ගිහින් වැඩක් නැහැනෙ. මේ කණ්නාඩි දෙකට හරියන ඇප් ටිකකුත් ඕන. අපි දැන් කියන්නෙ මේ කණ්නාඩි දෙකට හරියන සුපිරි ඔග්මන්ටඩ් රියැලිටි ඇප්ස් ටිකක් ගැනයි.

 

  • Pokémon GO
    ඔන්න උඩින්ම තියෙන ගේම් එකක්. පොකිමොන් කියන්නෙ ඉස්සර නිකංම සෙල්ලමක් වුනාට පස්සෙ ඇවිද ඇවිද සෙල්ලං කරන සෙල්ලමක් බවට පත්වුන එකක්. ඉතිං එහෙම ෆෝන් අතේ අරන් ඇවිදිනවට වඩා තමුංගෙ ග්ලාස් එකේම අවට ‍ලෝකෙ පේන නිසා සෙල්ලම ලේසියෙන්ම කරන්න පුළුවන් වගේම අවදානමත් අඩු වෙනවා. ඒකම වාසියක්නෙ.
  • Google Translate
    ෆුල්ම ඔග්මන්ටඩ් රියැලිටි ඇප් එකක් නොවුනට ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකටත් AR ෆීචර් එකක් තියෙනවා. ඒකම වාසියක්. ට්‍රැවල් කරන මනුස්සයෙකුට පට්පට් ගාලා සූරසේන වගේ තමුන්ට අවශ්‍ය ඒත් නොදන්න භා‍ෂාවෙන් තියෙන දේ හොයාගන්න ඒක වාසියක් වේවි.
  • Amikasa
    මෙන්න තවත් ප්‍රයෝජනයක්. ගෙදරක ඉන්ටීරියර් ගැන අයිඩියා එකක් ගන්න කියාපු වැඩක් තමයි මේ. මේකෙන් ඔයාට පුළුවන් ඔයාට ඕන බඩු කාමරේ ඇතුළෙ තිබ්බම පෙනුම කොයි වගේද කියල බලලා අත්දකින්න. ඒකෙන් පස්සෙ ඉතිං අවශ්‍ය දේ තෝරාගැනීමත්‍ ලේසි වෙනවනේ.
  • Ingress
    ගූග්ල්ල ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකට දාපු මුල්ම ඔග්මන්ටඩ් රියැලිටි ගේම් එක තමයි මේ.පොකිමොන් නිපදවපු අයගෙම නිර්මාණයක් වීමත් විශේෂයක්. තවත් ඇවිද ඇවිද ගහන්න තියෙන ආතල් ගේම් එකක්.
  • Ghost Snap
    ඔය ඉතිං හොල්මන් ෆිල්ම් බලන, එවුවට ඇබ්බැහි වෙච්ච ඩයල්වලට මේක කියාපු වැඩේ. ත්‍රාසය භීතියට කැමතියි නං ඔග්මන්ටඩ් කණ්ණාඩි දෙකත් දාගෙන ගේ ඇතුළෙ ලයිට් නිවලා රවුමක් ගහන ගමන් මේ ඇප් එක දාගත්තනං හොල්මනක් දෙකක් දකින්න පුළුවන් වේවි.

 

6. වෙළඳපොලේ තියෙන වාසිම ඔග්මන්ටඩ් රියැලිටි ග්ලාසස්
Augmented Reality
Source – gizmoreport.com, urbanwearables.technology, techcrunch.com
  • CastAR
    කණ්ණාඩි කුට්ටමට උඩින් වටපිටාවට ස්කෑන් පාරක් දාන්න කැමරා දෙකකුත් තියෙන මේ ඔග්මන්ටඩ් රියැලිටි ග්ලාසස් දෙක නියමයි. ෆ්‍රේම් එකට උඩින් තියෙන ප්‍රොජෙක්ටර් දෙකෙන් ඔයාට ඕන දේවල් ප්‍රොජෙක්ට් කරලා දේවි. අපි මුලින්ම කිවුවනෙ අධ්‍යාපනේට හොඳ වැඩක් ගත්තෑකි කියලා. මේකත් එක්ක ඒ වෙනුවෙන්ම එන හැරීපොටර් මැජික් යෂ්ඨිය ටයිප් මැජික් වොන්ඩ් එකක් එනවා. ඒකත් මේ ඔග්මන්ටඩ් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න වාසියක් වේවි.
  • Moverio BT-200
    එප්සන්ලා මේ වැඩේ කාලෙක ඉඳන් ඉන්නව. ත්‍රිමාණ සජීවීකරණය සපෝට් කරන කන්ටෙන්ට් බලන්නත් පුළුවන් මේ කණ්ණාඩි දෙක ඒ අතරින් ප්‍රධානයි. කණ්ණාඩි දෙකත් එක්ක අවට ඇති දේට ස්කෑන් පාරක් දෙන්නට Front Facing Camera, ඔබේ අවට චලනය වන දේවල හැසිරීම් හඳුනාගන්නට Motion Sensor, ශබ්දය වෙනුවෙන් Built-in Dolby Digital Plus, GPS, මයික්, මාලිමාවක් සහ ප්‍රොජෙක්ටර් අඩංගුයි.
  • Meta
    ගූග්ල් ග්ලාසස්වලට මිස් වෙච්ච දේ මෙටා හඳුනාගෙන තියෙනවා. මෙටාවලින් ඔයාගෙ හැසිරීම් හඳුනාගන්නවා. ඒක තමයි විශේෂත්වය. ඒ නිසා ඔයාට මේ හරහා ලෝකයට දේවල් නිර්මාණය කළ හැකියි. නිකං හිතන්නකො වර්චුවල් ක්ලේ ගුලියක් එක්ක සෙල්ලං දානව වගේ වැඩක්.

 

 


 
Cover Image Source – mobiledevicefuture.blogspot.com
 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here