අරමුණු ඉටුවීමට පෙර දිවියෙන් සමුගත් ශ්‍රී ලාංකික දේශපාලඥයින් 6 දෙනෙකු – Lakviru Media Network

0
236


ශ්‍රී ලාංකික දේශපාලනය සහ දේශපාලඥයින් පිළිබඳ ජනතාව තුළ තිබෙන්නේ එතරම් සුන්දර ආකල්පයක් නොවෙයි. දේශපාලන මඩ ගොහොරුව, නාරා වල කියල නිතර හඳුන්වන ශ්‍රී ලාංකීය දේශපාලන ලෝකයේ කාලයෙන් කාලයට සුපිරිසිදු දේශපාලන චරිත නැග එන්නත්, ඉහත කියපු මඩගොහොරුවේ ගිලී අපවිත්‍රව යන්නටත් ගතවෙන්නේ අසුරු සැනක් පමණයි.

එසේ කී පමණින්ම ජනතාව වෙනුවෙන් ක්‍රියාකරමින් ජනතා ප්‍රසාදය දිනූ දේශපාලඥයින්ද අප අතර නොසිටිනවා සහ නොසිටියා යැයි අපට කියන්නට බැහැ. ජනතාවට සේවය කිරීමේ අරමුණෙන් ගමන් ගන්නා මාර්ගය අතරතුර ඉබේම දුෂ්ටයන් බවට හැරෙන වීරයන්ද. (“You either die a hero, or you live long enough to see yourself become the villain.” කියල ඉංග්‍රීසි චිත්‍රපටයක එන යෙදුමකුත් තියෙන්නෙ) දේශපාලන අරමුණු කරා යන දීප්තිමත් ගමනක් අකාලයේ කෙළවරකට පත්වී ජනතා හදවත්වල රැදෙන දේශපාලන චරිතද අපට ලාංකික ඉතිහාසය තුළදී මුණ ගැහෙනව.

මේ ලිපිය ලියැවෙන්නේ එවන් වූ දීප්තිමත් දේශපාලන ගමනක් අතරතුර නොසිතූ ලෙස අප අතරින් වෙන් වන්නට සිදුවූ දේශපාලඥයින් කිහිප දෙනෙක් පිළිබඳවයි.

 

නාලන්ද එල්ලාවල
නාලන්ද එල්ලාවල
මිණි පුරයෙන් බිහිව මුලු ලංකාවටම මිණි කැටයක් වන්නට පෙරුම් පිරූ නාලන්ද එල්ලාවල

Source – lankahotnews.info

ලාංකික දේශපාලන ක්ෂෙත්‍රයට ප්‍රබල දේශපාලඥයින් රැසක්ම තිළිණ කල රත්නපුරය හැඳින්වෙන්නේ මිණි පුරය නමින්. ඒ මිණි පුරයෙන් බිහිව මුලු ලංකාවටම මිණි කැටයක් වන්නට පෙරුම් පිරූ නාලන්ද එල්ලාවල නම් තරුණ දේශපාලඥයාට ඒ සඳහා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවීම කෙතරම් ශෝකජනකද?

1967 මාර්තු මසදී මෙලොව එළිය දකින නාලන්ද එල්ලාවල මහතාගේ පියාත් ප්‍රකට දේශපාලඥයෙක්. ඒ කෘතහස්ත දේශපාලඥයෙක් වූ නන්ද එල්ලාවල මහතායි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයටද ඇතුළත් වන නාලන්ද එල්ලාවල තරුණ වියට පා තබත්ම පියාගේ දේශපාලන ගමන් මගම තම ජීවිතයේ ඉදිරි මග ලෙසට තෝරා ගනු ලබනවා. ප්‍රගතශීලී දේශපාලඥයෙක් වශයෙන් තම ප්‍රදේශයේ ජනතාවගෙන් පමණක් නොව පරිණත දේශපාලඥයින්ගේ පවා පැසසුමට ලක්වීමට නාලන්ද තරුණයාට එතරම් කලක් ගතවන්නේ නෑ.

1993 පළාත් සභා මැතිවරණයෙන් සබරගමූ පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ප්‍රථම වරට තේරීපත්වන නාලන්ද එල්ලාවල ඉන්පසු 1994 පැවැති මහා මැතිවරණයෙන් රත්නපූර දිස්ත්‍රික්කයේ තුන්වැනි තැනට මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට පත්වීමට සමත් වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුට ගතකරන්නට දෛවය ඉඩදුන් කාලසීමාව කෙටි වුවද ඒ කෙටිකාලය තුළ පරිණත දේශපාලඥයකුගේ ලක්ෂණ පෙන්නුම් කරන්නට ඔහු සමත් වනවා.

දීප්තිමත් දේශපාලන ගමනක පෙරනිමිති පෙන්වූ නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයා 1997 වසරේ පෙබරවාරි මස 11 වනදා කුරුවිට නගර මධ්‍යයේදී වෙඩිතබා ඝාතනය කරනු ලබන්නේ රටක්ම කම්පා කරවමින්. ප්‍රදේශයේ විරුද්ධ පාක්ෂික දේශපාලඥයන් කිහිප දෙනෙකුටම මේ ඝාතන චෝදනාව එල්ල වුවද අද දක්වා මේ අපරාධයට කිසිවෙකු වැරදිකරුව නොවීම පුදුම එළවනුසුලු බවද කිව යුතුය.

නාලන්ද යනු සෑම ජාතියකම සමානතාවය ඉහලින්ම ඇදහූ දේශපාලඥයෙක්. ඔහු අද අප අතර සිටියානම්, අද වනවිට රටපුරා හිස ඔසවන ජාතිවාදී අදහස් ජාලයන්ගෙන් තරුණ සිත් මුදවාගන්නට සෑහෙන මෙහෙවරක් කරන්නට තිබුණු දේශපාලඥයෙක්.

 

ලලිත් ඇතුළත්මුදලි
ලලිත් ඇතුළත්මුදලි
ලාංකීය නාමය දෙස් විදෙස්හි රැන්දූ උගතෙකි. එමෙන්ම පරිණත දේශපාලඥයෙකි

Source – linkedin.com

උගත් වූ පළියට හැමෝටම සාර්ථක දේශපාලඥයෙකු වීමට නොහැකිය. ලලිත් ඇතුළත්මුදලි යනු ලාංකීය නාමය දෙස් විදෙස්හි රැන්දූ උගතෙකි. එමෙන්ම පරිණත දේශපාලඥයෙකි. එබැවින් දුර්ලභ ගණයේ ලාංකික දේශපාලඥයෙකැයි අපට ලලිත් ඇතුළත්මුදලිව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ හෝ ඔහුගේ අවාසනාවට රටේ ඉහලම තනතුරක් දක්වා යාමට වුවද සුදුසුකම් සහ පරිණතභාවය සපුරා තිබියදීම ඒ කිසිවකට ළගා නොවී අකාලයේ ජීවීතයෙන් සමුගත්තෙකි.

සිසු දරුදැරියන් සහ තරුණ තරුණියන්ගේ තත්ත්වය යහපත් අතට හැරවීම උදෙසා විශාල කැප කිරීමක් කිරීමට ලලිත් ඇතුළත්මුදලි මහතා සමත් විය. ඔහුගේ මූලික මැදිහත්වීම මත මහපොළ ක්‍රමය ඇරඹෙන්නේ ඔහුගේ ඒ දැක්මේ එක් පියවරක් හැටියටය. ඉනුත් නොනැවතී වරාය, ආර්ථික ආදී විවිධ අංශවලටත් ඔහුගෙන් සිදුව ඇත්තේ සුලුපටු සේවයක් නොවේ.

කෙසේ වෙතත් 90 දශකය මුල් භාගය වන විට සිය පක්ෂ නායකත්වය පිළිබඳව කළකිරෙන ලලිත් ඇතුලත්මුදලි මහතා එවක තම පක්ෂයේ තවත් ප්‍රබලයෙකු වූ ගාමිණී දිසානායක මහතාත් තව පිරිසකුත් සමග එක්ව එවක රටේ ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලබනවා. මෙය අසාර්ථක වන අතර ලලිත් ඇතුලත්මුදලිට තම පක්ෂ සාමාජිකත්වයද අහිමිව යනවා.

පසුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් නව පක්ෂයක් පිහිටුවා ගන්නා එතුමා 1993 බස්නාහිර පළාත් මහ ඇමතිධූර අපේක්ෂකයෙකු ලෙස තරග බිමට පිවිසෙනවා. 1993 අප්‍රේල් 23දා රාත්‍රියේ කිරුළපනදී ජනරැළියක් අමතමින් සිටියදී තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ජීවිතක්ෂයට පත්වන්නේ ඔහුගේ මරණය පිළිබඳව අදටත් නොවිසඳුනු ගැටලු රාශියක් ඉතිරි කර හරිමින්. කොටි සංවිධානයටද, එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාටද මේ අපරාධය සම්බන්ධව ඇඟිලි දිගු වනවා.

“මාව ඝාතනය කළත් මගේ චරිතය ඝාතනය කරන්න එපා”. යැයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එකල දේශපාලන වේදිකාවකදී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයට හේතුවන්නේද ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මේ ඝාතනයයි.

ගැලරිය පිනවීමට හිස් කතා දොඩන බහුතරයක් දේශපාලඥයන් සිටින වර්තමානයේ ලලිත් වැනි බුද්ධියක් නිහඬවීම නොදැරිය හැකි පාඩුවක්.

 

විජය කුමාරතුංග
විජය කුමාරතුංග
දේශපාලඥයාට වඩා විජය නම් මානව හිතවාදියා රටට අහිමි වීම ඛේදවාචකයකි

Source – nfc.gov.lk

විජය කියන්නෙ කඩවසම් පෙණුමක් විතරක් නොවෙයි සුන්දර හදවතකටද උරුම කම් කියපු අපූරු පුද්ගලයෙක්. තිරයේ දිගහැරුණ කඩවසම් පෙම්වතා, අසාධාරණයට එරෙහි වන වීරයා චරිතයෙන් මිදිල මහපොලවෙ පයගහල මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට විසඳුම් හොයන්න ඔහු උත්සාහ කලේ ඔහුගේ තිබ්බ මේ මානව හිතවාදී ගතිගුණ නිසා වියහැකියි.

හන්තානේ කතාව චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතයක් රඟදක්වමින් සිනමාවේ කැපී පෙනෙන්නට පටන් ගන්නා විජය කුමාරතුංග වැඩි කළක් යන්නට මත්තෙන් ලාංකික තරුණ තරුණියන්ගේ සිත් තුල සිහින කුමරෙකු, වීරයෙකු බවට පත්වනවා. 1978 වර්ෂයේදී විජය කුමාරතුංග චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය සමග විවාහපත් වනවා.

දේශපාලනයට පිවිසීමත් සමග විජය වටා විශාල පිරිසක් එක් රොක් වන්නට පටන් ගන්නවා. එසේ එක්රොක් වන්නට වූ ජනකාය දැක බියපත්ව විජයව නිරපරාදේ හිරගත කිරීමට පවා ප්‍රතිවිරුද්ධ දේශපාලඥයින් සමත්වනවා. සිරගෙය තුළදී විජය ඝාතනයට ලක්වේයැයි ජනතාව තුළ පැවති බියද පහ කරමින් පසු කලෙක විජය නිදහස ලබනවා.

මුලු රටක්ම හඬවමින් 1988 පෙබරවාරි 16 දහවලේදී වෙඩි තැබීමකට ලක්ව විජය කුමාරතුංග නම් අසහාය පුරුෂයා මෙලොව හැර යන්නේ තම නිවස ඉදිරිපිටදීමයි. එවක ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයාද වනවා. ජනතා විමුක්ති පෙරමුණටද, එවක පැවති රජයටද මිනීමැරුම් චෝදනා එල්ල වුවද අද වනතෙක් හරිහමන් වගකිවයුතු පාර්ෂවයක් නීතියට කොටු කරගැනීමට නොහැකිවූ තවත් අපරාධයකි විජය ඝාතනය.

මුලු රටක්ම ශෝකී කාලයකට යටව යද්දී, හඬා වැළපෙමින් වැල නොකැඩී මහා ජනකායක් විජයගේ අවමංගල්‍යයට ඇදී එන්නේ තම තම සිහින කුමරුවාව, මානව හිතවාදියාව අවසන් වරටත් දැක ගැනීමේ අරමුණින්. බණ්ඩාරනායක මැතිතුමාගේ අවමංගල්‍යෙන් පසු වැඩිම ජනකායක් ගැලූ අවමංගල්‍යය විජයගේ බව කියැවෙනවා.

විජය නම් දේශපාලඥයාට වඩා විජය නම් මානව හිතවාදියාගේ අහිමිවීඹ අදටත් මෙරටට දරාගත නොහැකි පාඩුවක්

 

ගාමිණී දිසානායක
ගාමිණී දිසානායක
රටට දිගුකාලීන ප්‍රතිලාභ අත්කරදෙන දැවැන්ත සංවර්ධනයන් කිරීමට බුද්ධියක් සහ කැපවීමක් තිබූ මිනිසෙක්

Source – thesundayleader.lk

ඒ 1994 ඔක්තෝම්බර් 24 වැනිදායි. හිරු උදාවට පෙර දවසේ වැඩ කටයුතු වලට සූදානම් වන ලක්වාසීන් බොහොමයකට අවදි වන්නට සිදුවන්නේ ඉතාම අන්ධකාර ප්‍රවෘත්තියකට සවන් දෙමින්. ඒ නම් ලංකා ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණයක් වූ 1994 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක ගාමිණී දිසානායක මහතා කොටි බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පුවතයි.

පක්ෂ විපක්ෂ සියල්ලකගේම හිත දිනාගත් සුන්දර මිනිසෙකුවූ ගාමිණී දිසානායක මහතා රටේ විවිධ කෙෂේත්‍ර වල දියුණුව උදෙසා කර ඇති මෙහෙවර මෙතෙකැයි කියා නිම කල නොහැකියි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ඉන් ප්‍රධාන කර්තව්‍යයක්, එමෙන්ම අප රටේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියටද බොහෝ සේ කැපවී ක්‍රියා කරන ලද්දෙක්. නිසි තැන නොලැබීම සහ කෙනෙහිලිකම් මැද තමන් දිවි හිමියෙන් කැපවූ පක්ෂයෙන් නෙරපීමටද ලක්වෙන දිසානායක මැතිතුමා හට නැවත එම පක්ෂයෙන්ම  ජනාධිපතිවරණයට තරඟ කිරීමට වරම් ලැබෙනවා. ඒ 1994 ජනාධිපතිවරණයේදී.

94 ඔක්තෝම්බර් මස 23 වනදා රාත්‍රියේ තොටළග පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමට ගාමිණී දිසානායක මහතා පිටත් වන්නේ තමන් නිරතුරුවම පැළද සිටින මගුල් මුදුවද, සතුරු ආරක්ශාව පිණිස පළදින යන්ත්‍රද ගලවා නිවසේ බුදු මැදුරින් තබායි. එය හුදෙක් අමතකවීමක්ද නැතිනම් දෛවයේ සරදමක්දැයි සිතීමට දැන් ප්‍රමාද වැඩි බව හැගේ.

ගාමිණී යනු හුදෙක් ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ඉටුකිරීම පමණක් තමන්ගේ දේශපාලන අරමුණු බවට පත් කර නොගත් දේශපාලඥයෙක්. රටට දිගුකාලීන ප්‍රතිලාභ අත්කරදෙන දැවැන්ත සංවර්ධනයන් කිරීමට බුද්ධියක් සහ කැපවීමක් තිබූ මිනිසෙක්. ඔහු අද සිටියානම් තවත් පරිණතභාවයට පත් දේශපාලඥයෙක් ලෙසට රටේ දැවැන්ත සංවර්ධනයකට උර දෙමින් සිටින්නට තිබුණි.

 

 

ලක්ෂ්මන් කදිරගාමර්
ලක්ෂ්මන් කදිරගාමර්
වෙනුවෙන් තව බොහෝ සේවයක් කරන්නට ඉතිරිව තිබූ උගත් බුද්ධිමතෙක්

Source – dailynews.lk

උපතින් ද්‍රවිඩ ජාතිකයෙක් වුවත් ලක්ෂ්මන් කදිරගාමර් කියන්නෙ ජාතිවාදී හැඟීම් නොතිබුණු මහත්මයෙක්. කොටි සංවිධානයට එරෙහිව ජාත්‍යන්තරයේ මහත් හඬක් නැගූ විද්වතෙක්. ලංකාවෙ සාමය ගැන සුවිශාල සිහිනයක් දැක්ක අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක්.

ඇයි මේ ලක්ෂ්මන් කදිරගාමර්? සමහරක් විට ඔබට පැණයක් නැගේවි. ලක්ෂ්මන් කදිරගාමර් මේ ලැයිස්තුවේ අන්තර්ගත අනෙක් දේශපාලකයින් හා සසඳා බලද්දි තරුණ හෝ මැදි වියේදි මියගිය පුද්ගලයෙක් නොවෙයි, තරමක් වියපත් දේශපාලඥයෙක්. ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර වශයෙන් උසස් නිළතල හෙබවූවෙක්.

එසේ වුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තව බොහෝ සේවයක් කරන්නට ඉතිරිව තිබූ උගත් බුද්ධිමතෙක්.විශේෂයෙන් රටතුළ පැවති 30 වසරක යුද්ධයෙන් පසු මෙරටට ඉමහත් සේවයක් කරන්නට තිබුණු දේශපාලඥයෙක්.

කොටි සංවිධානයේ පිබිදීම ජාත්‍යන්තර වශයෙන් මැඩ පවත්වා සමහර රටවල එම සංවිධානය තහනමට ලක්කරන්න එතුමාගේ මැදිහත්වීම බලපෑව. ලංකාවෙන් බිහිවූ කීර්තිමත්ම විදේශ අමාත්‍යවරයා කියල එතුමාව හැඳින්වීම ඉතාම සාධාරණයි.

2005 අගෝස්තු 12 වැනි දින තම නිවසේ ඇති නාන තටාකයෙන් එළියට එන අතරතුර කොටි ත්‍රස්තවාදීන්ගේ ස්නයිපර් උණ්ඩවල ගොදුරක්ව එතුමා මෙලොව හැර යන්නේ මුලු ශ්‍රී ලංකාවේම අවාසනාවකට. ඒ තමා දිගු කළක් දුටු සාමයේ සිහිනය හැබැහින් දකින්නට ඉතාමත් අසන්න කාලයක.

 

 

උපාලි විජයවර්ධන
 උපාලි විජයවර්ධන
දේශපාලඥයින්ගේ ලයිස්තුවට එක්වෙන්නේ ඇයි?

Source – noealaminsl.blogspot.com

උපාලි විජේවර්ධන යනු ලංකාවෙන් නොව මුලු ආසියාවෙන්ම බිහිවූ සුවිශේෂම ගණයේ පුද්ගලයෙක්. ඔහුගේ ජීවිත කතාවම විවිධ විජයග්‍රාහී, රසබර, ආන්දෝලනාත්මක මෙන්ම අභිරහස් කාරණයන්ගෙන් පිරුණු එකක්.

ක්‍රියාකාරී දේශපාලනයට නොපිවිසුනත් උපාලි නම් වූ මේ සුවිශේෂී පුද්ගලයා අපේ දේශපාලඥයින්ගේ ලයිස්තුවට එක්වෙන්නේ ඇයි?

උපාලි විජයවර්ධන යනු නෑකමින් හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධනයන්ගේ මස්සිනා කෙනෙක්. ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේත් ළඟම ඥාතියෙක්.

ඩෙල්ටා ටොපියෙන් පටන් ගෙන මැස්ඩා ෆියට් වැනි රථවාහන ලංකාවේ නිෂ්පාදනය කරන්නටද, යුනික් නම යටතේ රූපවාහිනී සහ රේඩියෝ ලංකාවට හඳුන්වාදෙමින් ලංකාව තුළ විප්ලවයක් කරන්නට සමත් වූ පුද්ගලයෙක්. ඔහු 1970 දශකයේදී උපාලි පුවත්පත් සමාගම ආරම්භ කරන්නේ තවත් සමාජ මෙහවෙරක් කිරීමේ බලාපොරොත්තුවෙන්.

එවක පැවති රජයේ මුදල් ඇමතිකම හා සම්බන්ධව උපාලි විජයවර්ධනගේ  නමත් ඈ‍දෙන්න පටන් ගැනෙන්නෙ දේශපාලන ගමනක පෙරනිමිති පහල කරමින්. කෙසේ නමුත් 1983 දී නොසිතූ වෙලාවක අභිරහස් අන්දමින් ගුවන් ගමනක් අතරතුරදී උපාලි අතුරුදන් වන්නේ අදටත් නොවිසඳුන පැණ බොහොමයක් ඉතිරි කරමින්. ඔහුගේ අතුරුදන්වීම ගැන පළවන විවිධ මත අතරේ මෙය ඔහුගේ “සිදුවිය හැකිව තිබූ” දේශපාලන ගමන වැළැක්වීමට කරන ලද සතුරු දේශපාලන කුමන්ත්‍රණයක් හැටියටත් මත පළවනවා.

උපාලි ජීවතුන් අතර සිටියානම් රටතුළ දේශපාලන වගේම ආර්ථික වශයෙනුත් විශාල සේවයක් කළ හැකිව තිබූ පුද්ගලයෙක්. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මගින් රටේ ආර්ථිකය වෙනත්ම අතකට හැරවිය හැකි බුද්ධියක් සහ පෙරදැක්මක් තිබූ මිනිසෙක්. ඒ සැමටත් වඩා සිය ඥාතීත්වයන් උපයෝගී කරගෙන අතීතයේ සිට පැවතෙන ශ්‍රී ලංකා යූ ඇන්පී මතභේදයන් බොහෝ කළකට පෙර අවසන් කරන්නටත් උපාලි විජේවර්ධනට හැකියාව තිබුණ බව අමතක කරන්න නරකයි. එහෙම උනානම් මේ ලයිස්තුවේ එන සමහරක් තරුණ දේශපාලඥයන්ගේ අකල්මරණ වුවත් වැළකෙන්නට තිබුණා.




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here