පොඩි කොල්ලෝ සාමාන්‍යයෙන් හරිම කැමතියි තමන් වයසට වඩා ලොකුයි කියලා පෙන්නන්න. එහෙම ලොකු සීන් දාන්න ගියහම තමයි ඔය කට්ටිය කියන්නේ “මුන් කොල්ලෝ නෙවෙයි කොලු තාත්තලා” කියලා. ඒක එහෙම වුනත් ඇත්තටම යෞවන වයසෙන් වැඩිහිටියෙක් වෙන එක නිකම්ම වෙන්නේ නෑ. අපිට ඕන තරම් හම්බුවෙනවා වයස විසිපහක් විසිහයක් වෙලාත් තාමත් ලාබාල වැඩ කරන කොල්ලෝ. එතකොට වයස තිහට කිට්ටු වෙලාත් තාමත් වැඩිහිටියෙක් වගේ වගකීමක් ගන්න බැරි බබාලා වගේ කොල්ලෝ. මේ ටිප්ස් ටික කියවලා බලලා තීරණය කරමු ඔබ වගකීමක් තියෙන, පවුලක් රන් කරන්න පුලුවන් වැඩිහිටියෙක් වෙලාද, එහෙම නැත්නම් තාමත් චූ කොල්ලෙක්ද කියලා!
1. පයිප්ප බාස්ගේ වැඩේ ඉඳන් කෝකි වැඩේ දක්වා

පොඩි කොල්ලෝ: කලාතුරකින් පොඩි කොල්ලෝ විතරක් නෙවෙයි පොඩි කෙල්ලොත් ඉන්නවා ගෙදර පයිප්පයක් ලීක් වෙනකොට හදාගන්න පුලුවන්, එතකොට ගෙදර කවුරුවත් නැති නම් කෑම ටිකක් උයාගන්න පුලුවන් විදියේ. හැබැයි බහුතරය ගත්තහම වයස විසි ගණන් මැද නැත්තං අග වෙලත් තාමත් අම්මා ගෙදර නැතිවුනොත් බඩගින්නේ. පයිප්පයක් කැඩුනොත් එහෙම පයිප්ප බාස්ලා හොයාගෙන යන්න ඕන.
වැඩිහිටි මිනිස්සු: සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක්ට වඩා හොඳට කෑම ටිකක් හදාගන්න පුලුවන්. එතකොට හදිසියේ ගෙදර ඉලෙක්ට්‍රිකල් දෝෂයක් වුනොත් හදාගන්න, පයිප්පයක් කැඩුනොත් ගෙනත් දාගන්න වගේ දේවල් කරගන්න පුලුවන්. මේවා තමයි ජීවන නිපුණතා කියලා ඉගෙන ගන්න ඕන.
දැන් අහන්න එපා පයිප්ප අපි හදාගන්න නං පයිප්ප බාස්ලා ඉන්නෙ මොකටද කියලා. සම්පූර්ණ පයිප්ප ලයින් එකක් එලාගන්න පයිප්ප බාස් කෙනෙක් හෙව්වට කමක් නෑ. හැබැයි ටැප් එකක් කැඩුනහම ඒකට හරියන ටැප් එකක් ගෙනත් සීල් ටේප් ගහලා හදාගන්න බැරි නං ඔය පිරිමිකම මොකටද?
2. අපි ඉතින් පඩි දාට ආතල්, ඊට පස්සෙ හන්ටර්

පොඩි කොල්ලෝ: කොල්ලෙක්ට විසිපහක් කියන්නේ අනිවා රස්සාවක් ලැබිලනේ. හැබැයි කොල්ලෙක් කියන්නේ අතේ පඩි දවසෙන් පස්සේ සතයක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියන එක තමයි. යාලුවෝ එක්ක එහෙම ගන්න ආතල් ගත්තත් පොඩි කොල්ලෙක්ට සාමාන්‍යයෙන් ජීවිතේට කිසි ප්ලෑන් එකක් නෑ. ඒක තමයි ඇත්ත.
වැඩිහිටි මිනිස්සු: වැඩිහිටියෙක් වුනු කොල්ලෙක්ට මේ අවුල නෑ. මුහුකුරා ගියපු කොල්ලෙක් දන්නවා අනාගතේ වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න ඕන කියලා. එතකොට මුහුකුරා ගියපු කොල්ලෙක් ගොඩක් වෙලාවට ජීවිතේ විඳලා තියෙන නිසා තවදුරටත් මැජික් වෙන දේවලට සල්ලි කුඩු කරගන්නෙ නෑ. ඒ කියන්නේ සතියකට සැරයක් බොන පාටියක් දාලා කන් සාක්කුවලට වැටෙනකල් බොන්න, මසාජ් පාලර් එකකට ගිහින් බලන්න වගේ සීන් ඒ වගේ වැඩිහිටි කොල්ලෙක්ට ඕන වෙන්නෙ නෑ. වැඩිහිටි කොල්ලෙක් ඊට වඩා සීරියස් දේවලට සල්ලි වියදම් කරනවා, ඒ වගේම මූල්‍යමය තත්වය සම්බන්ධයෙන් හරි ප්ලෑන් එකකට වැඩ කරන හින්දම හන්ටර් වෙන්න සිද්ධ වෙන්නෙත් නෑ.
3. හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

පොඩි කොල්ලෝ: සාමාන්‍යයෙන් අපේ ජීවිත වල ඉහළ පහළ යෑම් ඕන තරම් තියෙනවනේ. අද ෆුල් ආතල් නම් හෙට දුක් සීන්. හැබැයි පොඩි කොල්ලෙක්ට මේ වගේ පොඩි දෙයක් ඇති සෙල්ෆියක් ගහලා තියලා දිවිනහගන්න. ගොඩක් වෙලාවට අපිට දකින්න පුලුවන් ෆේස්බුක් එකේ එහෙම කොල්ලෝ දාන අමුම අමු දුක් සීන්. ඇඬෙනවා ඒ දුක අහනකොට.
වැඩිහිටි මිනිස්සු: වයසින් මුහුකුරා ගියපු කොල්ලෙක්ට ජීවිතේ ෆිලොසොෆිය හොඳට තේරෙනවා. බණ දහම් අහගෙන ජීවත් නොවුනත් බොනකොට කිව්ව සිංදු වල එහම ‘සැප දුක සම බර වේ’ කියලා කියන්නෙ මෙන්න මේකයි කියන එක අහුවෙනවා. ඒ හින්දම අර සදා දුක් සීන්, සදා විරහ සීන් වල ඉඳන් තමන්ගේ ජීවිතේ අවුල් කරගන්නෙවත්, හතර වටේටම දුක කිය කියා දේව්දාස් සීන් එකේ ඉන්නෙවත් නෑ වැඩිහිටියෙක් වෙච්ච කොල්ලෙක්. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිතේ තියෙන බර, දුක් කම්කටොලු පිරිමියෙක් විදියට දරාගෙන, ඒවට විසඳුම් හොයාගෙන ඉස්සරහට යනවා මිසක් ඒවා ගැන කියව කියව කංකෙඳිරි ගගා ඉන්නෙත් නෑ. හරියටම කියනවා නම් මුහුකුරා ගියපු පිරිමියෙක්ට තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි, තව පවුලක ජීවිත වල බර දන්න පුලුවන්.
4. මට මොනවද ඕන කියලා මංවත් දන්නෙ නෑ බ්‍රෝ!

පොඩි කොල්ලෝ: අවුරුදු විස්සක කොල්ලෙක් කියනවනං මට හරියන ජොබ් එක මොකක්ද කියලා මමවත් තාම දන්නෙ නෑ වගේ කතාවක්, අවුලක් නෑ සමාව දෙන්න පුලුවන්. හැබැයි වයස විසිපහත් පැනපු කොල්ලෙක් එහෙම කියනව නං ඒක සෑහෙන අවුලක්. ඇත්ත, මිනිහෙක්ට තමන්ගේ හිතට හරියනම දෙයක් කරන්න ලැබෙන්නේ සමහර විට අවුරුදු තිහත් පැනලා වෙන්න පුලුවන්. හැබැයි කිසිම ජීවිත ප්ලෑන් එකක්, වෘත්තිය සැලසුමක් නැතුව ඔහේ තියෙන ජොබ් එකක පා වෙවී ඉන්න එක හරි ජොබ් එකෙන් ජොබ් එකට පැන පැන ඔහේ යන එක හරි සමාව දෙන්න පුලුවන් දෙයක් නෙවෙයි.
වැඩිහිටි මිනිස්සු: ඕනම මනුස්සයෙක්ට තමන් තෝරාගන්න වෘත්තිය ඇතුළේ ඉහලට යන්න අවශ්‍ය වෙනවා තමන්ගේ ටැලන්ට් එක සහ ප්‍රවීණත්වය. ඔය දෙකම වර්ධනය කරගන්න නම් එක තැනක එක ෆෝකස් එකක වැඩ කරන්න ඕන. අවුරුදු දහයක් ටොප් මිකැනික් කෙනෙක් වුනු මනුස්සයෙක්ට හෙට ඉඳන් දත් දොස්තර වැඩේ කරන්න බැහැනේ. ඉතින් වැඩිහිටියෙක් වුනු කොල්ලෙක් ඔය රහස දන්නවා, ඒ හින්දා ඒ වගේ කොල්ලෙක්ට ඕන අවුරුදු තිහ පනිනකොට තමන් ඉන්න ෆීල්ඩ් එකේ ප්‍රවීණයෙක්, පොරක් වෙන්න. එහෙම කොල්ලෙක් අනිවා අවුරුදු විසි හතර විසි පහ කාලේ ඉඳන් ඒ තැනට එන්න වැඩ කරනවා. නියම ප්ලෑන් එකක් තියාගන්නවා.
5. ආපෝ මට කෙල්ලොනං අරහං! මට නං කෙල්ලෝ නතිං!

පොඩි කොල්ලෝ: ඔය ෆේස්බුක් පේජ් එකක් පැත්තේ රවුමක් ගැහුවනං කෙල්ලන්ව පේන්න බැරි කොල්ලො කිලෝ ගාණට හොයාගන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේ කොල්ලන්ට කෙල්ලො පේන්න බැරි හේතු තියෙනවා. හිටපු කෙල්ල දාර බූට් එකක් තියලා වෙන කොල්ලෙක් එක්ක ගියපු හින්දා, එතකොට කැමැත්තෙන් ඉන්න කෙල්ල මූව සතේකට ගණන් ගන්නෙ නැති හින්දා. ඔය වගේ හේතු. ඒ අතරේ තව කුකුලා ටයිප් කොල්ලෝ ඉන්නවා “මට නං කෙල්ලෝ නතිං බ්‍රෝ, සතියට එකයි” කියලා කියන. උන්ට කෙල්ලෙක්ව ලේසියෙන් යාලුකරගන්න පුලුවන් හැකියාවකුත් තියෙන හින්දා ඒක උපරිමේටම පාවිච්චි කරනවා. හැබැයි අපි කියන්නේ මෙවා අවුරුදු විසි ගණන් මුල කෙරුවට, තිහට කිට්ටු වෙනකොටත් මේ සීන් එකේ ඉන්නවනං උන් අනිවා වැඩිහිටි පිරිමි වෙලා නැහැයි කියන එකයි.
වැඩිහිටි මිනිස්සු: මුහුකුරා ගියපු පිරිමියෙක් බලන්නේ ස්ථාවර සම්බන්ධයක්. එතකොට එක කෙල්ලෙක් බූට් එක තිබ්බා කියලා කෙල්ලෝ සංහතියම චාටර් කියන තැනින් එහාට යන්න ජීවිත දැක්මක්, සමාජ දැක්මක් මේ විදියේ වැඩිහිටි කොල්ලෙක්ට තියෙනවා. ඒ හින්දම ගොඩක් වෙලාවට මේ මුහුකුරා ගියපු පිරිමියෙක් වුනු කොල්ලෙක් කෙල්ලෝ මෙහෙමයි, කෙල්ලෝ අරෙහෙමයි කිය කිය නාහෙන් අඬ අඬ ඉන්නෙ නෑ. එහෙම කොල්ලෙක් එක කෙල්ලෙක් එක්ක සතුටිනුත් ඉන්නවා.
6. ඕන දේවලට වියදං කරන්නෙ නැති ජීවිතේ මොකටද?

පොඩි කොල්ලෝ: රස්සාවක් කරන්න පටන් ගත්තු ගමන්, ඒ කියන්නේ කීයක් හරි අතට එන්න ගත්තු ගමන් කොල්ලෝ ආස ආස දේවල් වලට ලෝස් නැතුව වියදං කරනවා. ඒකේ අවුලකුත් නෑ ඉතින්. හැබැයි ඉතින් ඔය දකින දකින ගැජට් ගන්න එක, එන එන අලුත් ෆෝන් ගන්න එක හැමදාමත් තියෙන එක සෑහෙන අවුලක් වෙනවා අනාගතේට. වෙන විදියකට කියනවා නං තාමත් ලාබාල අවදියක ඉන්න කොල්ලෙක් උපයන මුදල වියදම් කරන්නේ ආස කරන හැමදේම අරන් තියාගන්න.
වැඩිහිටි මිනිස්සු: මේ අතරේ මුහුකුරා ගියපු කොල්ලෙක් වියදම් කරන්නේ අවශ්‍යතාවය මත පදනම් වෙලා විතරයි. ඒ කියන්නේ හොඳට වැඩ කරන අයිෆෝන් 5 එකක් නැත්තං අයිෆෝන් 6 එකක් තියාගෙන ඉන්න කොල්ලෙක්ට අයිෆෝන් 7 එක ආවා කියලා ඒක ගන්න ඕන කියලා කොහේවත් අමාරුවක් හටගන්නෙ නෑ. හැබැයි වැඩිහිටියෙක් වුනු කොල්ලෙක්ට තමන්ගේ පෙම්වතියත් එක්ක ඩිනර් අවුට් එකකට යන්න, එහෙමත් නැතිනම් ගන්න එකේ බ්‍රෑන්ඩඩ් ඇඳුමක් ගන්න වියදම් කරන එක අවුලක් වෙන්නේත් නෑ. තවත් සරලව කියනවා නං මේ මුහුකුරා යෑමත් එක්ක පිරිමියෙක්ට දැනුමක් එනවා තමන් උපයන මුදල් වියදම් කරන්න ඕන ප්රමුඛතාවයන් මොනවද කියන එක ගැන.
7. ලෝකේ දැකපු එල කොල්ලෙක්!

පොඩි කොල්ලෝ: පොඩි කොල්ලෝ ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නවා තමන් තරම් ලෝකේ තියෙන දේවල් දන්න අය තවත් නෑ කියලා. හැබැයි බලාගෙන යනකොට පොඩි කොල්ලෙක් ලෝකෙ ගැන දන්න කිසිම දේකුත් නෑ. මේක දකින්න පුලුවන් ගොඩක් වෙලාවට ඔය ෆේස්බුක් එකේ තියෙන පෝස්ට් වලට වැටෙන කමෙන්ට් වලින්. තාම ලාබාල ලෙවල් එකේ ඉන්න කොල්ලෝ හැඟීම්බර අදහස් දක්වනකොට, “මේක අපේ රට යකෝ” කියලා කී බෝඩ් එකට ගහනකොට, අර කියපු මුහුකුරා ගියපු පිරිමියෙක් ඓතිහාසික කරුණු, සමාජමය කරුණු වලින් පෙන්නලා දෙනවා “සංහිඳියාව කියන එක එක පැත්තකින් විතරක් ඇති කරන්න බෑ” වගේ දෙයක්.
වැඩිහිටි මිනිස්සු: සමහරු පොත් කියවනවා. සමහරු ෆිල්ම් බලනවා. සමහරු ඇඩ්වෙන්චර් ට්‍රිප් යනවා. මේ මොනදේ කළත් පිරිමියෙක්ට අත්දැකීම් එක්ක සෑහෙන්න පරිණත භාවයක් ලැබෙනවා. මේක අනිවා වැදගත් වෙන කාරණයක් පොඩි කොල්ලෙක්ගෙන් ලොකු පිරිමියෙක් වෙන් කරලා අඳුනගන්න පුලුවන්. ඒ කියන්නේ එහෙම මුහුකුරා ගියපු, ලෝකේ දැකපු පිරිමියෙක් එක්ක කතා කරනකොට තේරෙනවා මේ මනුස්සයාගේ අත්දැකීම් ප්‍රමාණය සුවිශාලයි කියලා. ඒ අත්දැකීම් එක්ක ලෝකේ බොහෝ දේවල් ගැන දැනුමක් මේ වගේ පිරිමියෙක් තුළ තියෙනවා විතරක් නෙවෙයි, ඒ අත්දැකීම් ආශ්රයෙන් යම් යම් දේවල් ගැන තියෙන මතාන්තරයනුත් බොහොම තාර්කික, දියුණු ස්වභාවයක් ගන්නවා.
Cover Image Source – Source – salon.com
Lakviru Media Network