ඔබේ ගෙවත්තේ නොතිබිය යුතු විෂ සහිත ශාක වර්ග 7ක්!

0
42


අපේ ගෙවතුවල එක එක විදි​ගේ ගස්වැල් වර්ග තියනවා. සමහර ගස් වැල් ඉබේ හැදුණු වැඩුණු ඒවා. තවත් සමහර ඒවා අපි ලස්සනට වවපු ඒවා. ඇහැ පිනවලා, අපේ ගෙමිදුල ලස්සන කරලා, සෙව​ණ සැදුවට අපි ඒ ලස්සන, සෙවණ විඳින සමහර ගස්වල නොයෙකුත් විෂ සැඟවිලා තියෙන්න පුළුවන්. අද අපි කියන්නේ ඒ විදිහට අපේ ගෙවතුවල නිතර දකින්න ලැබෙන විෂ සහිත ගස් වර්ග කීපයක් ගැන. මේවා ඔබේ ගෙවත්තෙත් තියනවනම් ඒවා ඉවත් කරන එක ඔබේ සහ පවුලේ අයගේ ආරක්ෂාවට වැදගත් වේවි.

 

1. හබරල ගස් වර්ග

ගෙමිදුලේ ලස්සනට වවන ගස් අතරින් බො​හොම බහුලව දකින්න ලැබෙන ගස් වර්ගයක් තමයි හබරල කියන්නේ. ඩම්බ් කේන් (Dieffenbachia), එලිෆන්ට් ඉයර් වගේ හබරල වර්ග කියන්​නෙ එහෙම අපේ ගෙවතුවල දකින්න ලැබෙන ජනප්‍රිය හබරල වර්ග කීපයක්.

නමුත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ හබරල වර්ගවල කොළ විෂ සහිත බව. විශේෂයෙන්ම කුඩා දරුවන්ට මේ කොළ ශරීරගත වීම බොහොම අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල අත්කරදෙන්න පුළුවන්. උගුර, තොල්, දිව ආදිය ඉදිමිලා කතා කරන්න අපහසු වෙන්න පවා පුළුවන් දරුවන්ට මේ හබරළ විෂ ශරීරගත වුණොත්.

 

2. නියඟලා

නියඟලා ගහ විෂ සහිතයි කියලා අපි හැමෝම වගේ දන්නවා. සමහරු නම් නියඟලා ගහ අඳුරන්නේ නැතිව ඒක වවනවා. තවත් සමහරු විෂ බව දන්නවා වුණත් මේ මලේ තියෙන අලංකාරය නිසා ඒ ශා​කය තමන්ගෙ ගෙවත්තේ වවනවා. නමුත් ඒ​ක සෑහෙන අවදානම්සහගත වැඩක් මොකද මේ නියඟලා අලයේ ඇති විෂ වැරදීමකින් හරි ශරීරගත වුණොත් උදරාබාධ, වමනය, මළපහ සමග ලේ පිටවීම විතරක් නෙමෙයි, පෙනහළු, හෘදය, වකුගඩු වගේ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රීන්වලට හානි පැමිණෙන්න පුළුවන්. ඒ වගේම මේ විෂ ශරීරගත වුණු පුද්ගලයෙක්ව වහාම රෝහල්ගත කරන්නත් අවශ්‍ය වෙනවා. ඒ තරම් මේ නියඟලා අලවල විෂ මාරාන්තිකයි.

 

3. කනේරු

රෝස සහ කහ පැහැති කනේරු ලංකාවේ වැඩිපුර දකින්න ලැබෙනවා. ​මේ කනේරු කියන්නේ අලංකාර ශාකයක්. මල් පැළ අලෙවිසැල් වල විකුණන්​න වගේම ගෙවතු වලත් මේ කනේරු ශා​ක තිබෙනවා අපිට දකින්න පුළුවන්. කනේරු කියන්නෙත් නියඟලා වගේම අධික විෂ ශාකයක්. කනේරු ශාකයේ කොටස් අතරින් කනේරු ඇට තමයි වැඩිම විෂකින් යුක්ත වෙන්නේ. මේ කනේරු ඇට සහ ගෙඩි හටගන්නේ කහ පැහැති කනේරු වර්ගයේයි. මීට අමතරව රෝස පැහැති කනේරු ශාකයේ කොළ සහ මල් විෂ සහිත වෙනවා. කනේරු විෂ වීමෙන් හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්. හුස්ම හිරවී මරණය වුණත් ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා කනේරු කියන්නේ ගෙවත්තේ තිබීම බෙහෙවින් අවදානම් ශාකයක්.

 

4. ඔළිඳ

ඔළිඳ ගැනනම් අපිට තියෙන්නේ සුන්දර පැරණි මතකයක්. ඒ කාලේ පාසැල් ක්‍රියාකාරකම්වලට වගේම නොයෙකුත් නිර්මාණ කාර්යයන් වලටත් මේ ලස්සන ඔළිඳ ඇට අපි භාවිතා කළා. අපේ ජන කවි වලත් ඔළිඳ ගැන සඳහන් වෙනවා. නමුත් අපි වැඩි දෙනෙක් නොදැන හිටියට ඔළිඳ කියන්නේ විෂ සහිත ඇට වර්ගයක්. මේ ඔළිඳ ඇට හැපීමෙන් එහි තිබෙන ඒබ්‍රින් කියන විෂ අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. ඒ හරහා වමනය සහ මළපහ සමග රුධිරය පිටවීම විතරක් නෙමෙයි, සමහර අවස්ථාවල වකුගඩු අක්‍රීය වීම පවා සිදු වෙන්න පුළුවන්.

 

5. ඒන්ජල්ස් ට්‍රම්පට් (Brugmansia)

බොහොම ලස්සන නමක් තිබුණාට මේ මල් සහිත ශාකය බොහොම භයානක විෂ අන්තර්ගත වෙච්ච ශාකයක්. මේ ශාකයේ විෂ සහිත බව නිසාම සමහර රටවල මෙ​ය වගාකිරීම සහ විකිණීම පවා තහනම්වයි පවතින්නේ. නමුත් ලංකාවේ සමහර ගෙවතුවල මේ ගස් වර්ගය අලංකාරයට වවලා තියනවා අපිට දකින්න ලැබෙනවා. සිහි විකල්වීම, අත පය අප්‍රාණික වීම, පාචනය, වමනය, අංශභාගය වගේ සෞඛ්‍ය ගැටළු රැසක් මේ ශාකයේ කොටස් විෂ වීම නිසා ඇතිවිය හැකියි. සෑම කොටසක්ම පාහේ විෂ සහිත වෙන මේ ශාක​යේ විෂ කොටස් වැඩිපුර ශරීරගත වුණොත් මරණය පවා ළඟාවිය හැකියි.

 

6. අත්තන

අත්තන කියන්නෙ ඖෂධීය ගුණය අතින් ඉතාම වටිනා ශාකයක් වුණත් අත්තන ශාක කොටස් විෂ සහිත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අත්ත​න ඇට වැඩිපුර ශරීරගත වීම සෞඛ්‍ය ගැටළු කිහිපයකටම මග පාදන්න පුළුවන්. සිහි නැතිවීම, සිහි විකල් වීම විතරක් නෙමෙයි, සමහර විට මරණය පවා අත්තන ඇට විෂවීම නිසා ඇතිවිය හැකියි. උන්මාදයෙන් මෙන් හැසිරෙන අයෙක් හඳුන්වන්නට අපේ ජනවහරේ එන කියමනක් ව​න ‘අත්තන ඇට කාලා ව​ගේ’ යන්න අත්තන ඇට වල පවතින මේ විෂ සහිත බව ගැන උදාහරණ සපයන කියමනක් වන්නට පුළුවන්.

 

7. කදුරු වර්ග

දිවි කදුරු, ගොඩ කදුරු සහ වෙල් කදුරු කියන කඳුරු ගස් ත්‍රිත්වයම විෂ සහිත ඒවා වනවා. ස්ට්‍රිච්නින් සහ බෘසීන් වැනි දරුණු විෂ වර්ගත් මේ ශාකවල අඩංගු වෙනවා. සිහිමද ගතිය, ස්නායු පද්ධතියට හානි වීම, පාචන තත්ත්වයන්, වකුගඩු අක්‍රීය වීම, උදරාබාධ ඇතුළු සෞඛ්‍ය අවදානම් රැසක් මේ කදුරු වර්ග නිසා ඇති විය හැකියි.

 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here