ඔබට කෙල්ලට තෑගී දෙන්නට දේවල් ගැන අදහස් ඔලුවට එන්නේ නැද්ද? දඩාවතේ යන බලු නකුටන් බෙල්ලේ බෝ එකක් ගැට ගසා පෙට්ටි වල දමා ගෙනිහින් දී කෙල්ලට චාටර් වෙලාද? එහෙනම් එන්න අපි ළඟට. අපි ඔබව ඇසුරු සැනින් කවියෙක් කරන මන්තරේ දෙනවා සත පහක් වත් ගන්නේ නැතුව.
වෙළඳ පොලේ රවුමක් යන කොට වේරලියද්ද දුක පපුවට තද කර ගෙන ඉන්නවා, තවත් කට්ටිය දෙවියන් බුදුන්ගෙන් කෙල්ලෝ ඉල්ලනවා. ඔයාල ඇති පදං දැකලා තියෙන එකේ හැමෝම කියන කොමන් සින්දු වෙනුවට ඔයාගේ අතින් තදකරන්, දත්මිටි කාගෙන, ලියපු ආදර කවිය කෙල්ලට දුන්නම කෙල්ලගෙන් ඒකට පිළිතුරු විදියට හොඳ උණුසුම් හාදුවක් ලැබුනම ආතල් කෝටියයිනෙ බ්‍රෝ.!
1. දැන් මොනාටද මාකට් එක වැඩි?

ඔයා බලන්න නිකමට, ෆේස්බුක් එක දිහා. කවි ඔස්තාද්ලා වැහි වැහැලා. කපුටෙක් මළපහ කලත් “අනේ ඒක හරි සුවඳයි” කියලා ඒ ගැන කවි ලියන්න අයියලා ඉන්න ලෝකෙක මොනවාටද මාකට් වැඩි කියලා අහන එකත් පොඩ්ඩක් ගොන් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.
ඒ වුනාට අපි ඉන්තේරුවෙන්ම කියන්නේ, මේ කාලේ වැඩිපුරම මාකට් වෙන්නේ විරහව තමයි. ඒ වුනාට අපි කෙල්ල දාලා ගියා කියලා නෙවෙයිනේ කවි ලියන්නේ, ඉන්න කෙල්ල හෝ හිතගිය කෙල්ලෙක් තවත් ෆිට් කරගන්නනේ කවිය ලියන්නේ.
2. පටන් ගන්නේ කොතනින්ද?

ගන්න කොලයක්. උඩින්ම දිනේ දාලා දෙයියනේ කියලා ඔයාට හිතට එන ඕනෙම අදහසක් වාක්‍ය පහක් හයක් වෙන්න ලියන්නකෝ.
ඉන්න පොඩ්ඩක් අපි උදාහරණයක් දෙන්න.
මගේ කාංචනා , ඔයාට මගේ හිතේ තියෙන ආදරේ කියන්න සිංහල හෝඩියේ අකුරු මදි. ඒ නිසා මම කන්ජි හරි හිරකනා වත් ඉගෙන ගන්නවා ඔව්. අපේ ආදරේ රැකෙන්න කියලා මම ගලේ බණ්ඩාර දෙයියන්ට බාරෙකුත් උනා, රෝසමල් හතක් එක්ක ඔයාව එක්කගෙන ඇවිත් අපි දෙන්න එක වහලක් යටට වුනාම ඒ බාරේ ඔප්පු කරනවා කියලා.
මෙන්න මේ වගේ එකක් උනා කියල කිසි අවුලක් නැහැ. හරිය?
3. හරි ලිව්වා කියමුකෝ ඊට පස්සේ?

ඊට පස්සේ තමා ගේම තියෙන්නේ යාලොස්. ඔයාට තියෙන්නේ මේ වචන ටික කඩන්න පුළුවන් තැන්වලින් කඩලා එක පෙළට දිගට සෙට් කරන්න. මෙන්න මෙහෙම!
~මගේ කාංචනා~
ඔයාට
මගේ හිතේ
තියෙන ආදරේ
කියන්න
සිංහල හෝඩියේ
අකුරු
මදි.
ඒ නිසා මම
කන්ජි හරි හිරකනා වත්
ඉගෙන ගන්නවා
ඔව්.
අපේ ආදරේ
රැකෙන්න කියලා
මම
ගලේ බණ්ඩාර දෙයියන්ට
බාරෙකුත්
උනා
රෝසමල් හතක්
එක්ක
ඔයාව එක්කගෙන
ඇවිත් අපි දෙන්න
එක වහලක්
යටට වුනාම
ඒ බාරේ
ඔප්පු කරනවා
කියා…
ඔන්න බඩු! මෙන්න මේ ආකාරයේ ඔබේ ලියු හෝ ටයිප් කරගත් වාක්‍ය මැද්දට එන්ටර් කී එක එබීමෙන් මේ ආකාරයෙන් සුන්දර නිසඳැස් කවියක් බිහිකරගන්න පුළුවන්.
4. දැන් මේක කොහෙද දාන්නේ?

ඔබේ අවශ්‍යතාවයට අනුව තැන වෙනස් කරගන්න කිසිම බාධාවක් නැහැ. උදාහරණයක් විදියට ලියලා ලියුමක් විදියට හරි, ෆේස්බුක් එකේ හරි දාන්න කිසිම අවුලක් නැහැ. ඒ වගේම ඔයා ෆේස්බුක් එකේ දාලා පෝස්ට් එක පබ්ලික් දාලා තිබ්බම ඔබේ හැකියාව ගැන පැහැදෙන ගැහැණු ළමයිස්ලා ඔයාට හායි කියන්නට එන්නත් ඉඩ තියෙනවා.
ඒ නිසා බොහොම ප්‍රවේසමින් අලුතින් හදාගත්තු මේ ටැලන්ට් එක පර්ස්සමින් භාවිතා කරන්න ඕනේ හරිය? ආ තව දෙයක්. මේ වගේ කවි කලින් ලියාගෙන ඉන්න එකත් මතුවට පොරෝජනවත් වෙන බව නම් කියන්නම ඕනේ.
5. රිප්ලයි ආවොත් මොකද කරන්නේ?

දැන් බැරි බැරි ගාතේ කවියක් ලියලා දැම්මා කියන්නකො. කෙල්ල ඒකට රිප්ලයි කලොත් මොකද කරන්නෙ? ඔයාගේ කවියට එයාගෙන් උත්තරයක් ආවා ඒ කියන්නේ එයත් ඒ කවියට කැමතියි කියන එකනෙ. ඒ නිසා දැන් ගේම අතාරින්න බෑ. තව කවි අදහස් පහළ කරවන්න වෙනවා. ඒක කරන්නත් ලේසි ක්‍රම තියනවා.
උදාහරණයක් විදියට අපි හිතමු කවියට මේ විදිහෙ රිප්ලයි එකක් ආවා කියල.
ජීවිතේ කියන
ගස යට
වැටුණු මල
නුඹ
මම හැමදා
ආදරේ කරන
ඒකට ඔයාට ඒ කවියෙන්ම කෑල්ලක් අරගෙන් ශේප් එකේ උත්තරේ දෙන්නත් පුළුවන්. ඕනේ නම් ශේප් එකේ ඒ කවියම අනික් පැත්තට හරවල යවන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. හැබැයි ඒක එයාට තේරුනොත් නම් පොඩ්ඩක් ඒකටත් උත්තරයක් හදාගෙන ඉන්න එක වටිනවා.
ආදරේ කරන
මම හැමදා
නුඹ
වැටුණු මලකි
මගේ හදවතට
හිටිද්දී ගසයට
ජීවිතේ කියන
6. සිව්පද ලියන්න බැරිද?

මල්ලි හවසට හවසට පැල රකිනවද? සිවුපද නෙවෙයි මල්ලි, ඒවාට කියන්නේ සඳැස් කවි කියලා. එළිසමය එළිවැට වැට පනින්නේ නැතුව එක පෙලට ලස්සනට ලියාගන්න නම් විනාඩි 10කින් බැරි වේවි. ඒ වුනත් පොඩි හරි ට්‍රයි එකක් දුන්නොත් බැරි වෙන එකක් නැහැ.
මෙහෙමයි ඒ දේට මුල පුරන්නෙ. හැබැයි ඔය “ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්” වගේ දිග පද තියෙන කවි ලියන්න හදන්න එපා. චූටි වාක්‍යයකට පද 3-4 වගේ තියෙන කෙටි කවියක් ලියන එක තමා සුදුසු ම. මෙන්න මේ කවිය බලන්නකෝ.
පුංචි කඳු ගැටයක මත
පුංචි ගේ පොඩ්ඩක සිට
ආසයි දොඩන්නට සිට
මල් මල් කතාවක් මට
7. කවි සීන් එක අල්ලලා ම යනවා නම්

වැඩේ දරුණුවට යනවා නම් කාලෙන් කාලෙට ලියන සිස්ටම් එකත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරල, දියුණු කරගන්නත් හිතට ගන්නෝනෙ. හැබැයි ගොඩක්ම බර සාර විදියට නෙවෙයි. චුට්ටක් බර දැනෙන්න වගේ.
අපි හිතමු ඔයාට ලියන්න ඕනේ මෙන්න මෙහෙම අදහසක් එන කවියක් කියලා.
අහසේ සුදු වලාකුලු පිරිල
මල වටේ බඹරු කැරකෙන
මේ උදෑසන
හැබැයි මේකට ටිකක් බරට ලිව්වාම කෙල්ලෙක් වුනත් පොඩ්ඩක් හෙල්ලිලා යන ගතියක් තියෙනවනේ.
අහස්කුස ශ්වේත වළාවෙන් ගැබ්බරව
කුසුම වට බිඟුන්ගේ ගුමුගුමු නැගෙන
අහා! මේ උදෑසන
මුලින්ම සරළව කවිය ලියාගෙන පස්සෙ ටික ටික වෙනත් සමාන පද ඇඩ් කර කර බලන්න විතරයි තියෙන්නේ…
8. ප්‍රතිවිපාක

කවි කියවලා කෙල්ලෙක් කෙල්ලෙක් සෙට් කරගත්තා වගේ නෙමෙයි ඉතින් කෙල්ල සෙට් වෙන්නෙ ඔයාගෙ කවීත්වය නිසානම් ඉතින් ඉදිරි ලවු ජීවිතේ කවියෙන්ම ඇදගෙන යන්න වෙන ඉඩ වැඩියි. එතකොට උදේ ඉඳන් රෑ වෙනකම් එස්එම්එස් වලින් චැට් වලින් කවි ලිය ලිය, කෙල්ලව හම්බ වෙන්න ගියාමත් හිටි වන කවි ගොත ගොත ඉන්න වෙන අවදානම තියනවා කියලත් මතක තියාගෙනම කවි වැඩේට බැස්සොත් හොඳයි.
වැදගත් : අපි මේ කියූ දේවල් විනෝදාත්මක ස්වරයෙන් කල්පනා කරනවා නම් කදිමයි. සාහිත්‍යට හෝ ඒ හා සම්බන්ධ කිසිදු චරිතයකට අපහාස හෝ උපහාස කිරීමේ කිසිදු අරමුණක් මෙහි නැති බව කියන්නම වෙනවා. ඒ නිසා, කියවලා බිමින් තියලා යන්න. කරේ තියාගෙන යනකොට හිතටත් බර වැඩියිනේ!
Cover Image Source – huffingtonpost.com
Lakviru Media Network