කොරෝනා ආවට පස්සෙ අම්මාව දැක්කේ ටී වී එකෙන් විතරයි

0
38


ලංකාවේ කොරෝනා රෝගීන් ගණන දැන් පනස් දහසත් පසුකර ඇත්තේය. මැති ඇමැතිවරු, ආරක්ෂක අංශ නිලධාරීහු, වෛද්‍යවරු ඇතුළු සියලුම තරාතිරම්වල රෝගීහු ඒ පනස් දහස අතරේ සිටින්නෝය. එහෙත් මේ සියලු රෝගීන්ට වඩා රටේ අවධානයට ලක්වූයේ සෞඛ්‍ය ඇමැතිවරිය කොරෝනාවට ගොදුරු වීමය. මේ වනවිට අංගොඩ අයිඩීඑච් උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය, ඉකුත් කාලයේ කොරෝනා මර්දනයට දිවා රෑ නොබලා වෙහෙසී රාජකාරි කළාය. ඒ බව හොඳටම දන්නේ ඇගේ සැමියාද, පෞද්ගලික ලේකම්වරයාද වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්නය.

මේ ඔහු සිය බිරිඳ ගැන කියන කතාවය.

හරියටම අවුරුද්දකට පෙර ලංකාවේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වුණේය. ඇය ලංකාවේ සංචාරයකට පැමිණි චීන කතකි. ඒ කාලයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වූයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහය.

දිනක් ඔහු තම ඇමැතිවරිය අමතා රහසක් හෙළි කළේය. ‘‘චීන ජාතික කොවිඩ් කාන්තාව අපි හොඳ කළා. මෙය ඓතිහාසික අවස්ථාවක්. අපි සුබ පතන්න යනවා’’ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කීවේය.

‘‘ඉන්න මමත් එනවා’’ කියමින් ඇමැතිවරිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට පැමිණියාය. ඇමැතිවරිය චීන කතට සමුදුන්නේ ඇය තුරුලට ගෙන හාදුවක් දෙමිනි.

සෞඛ්‍ය ඇමැතිවරිය ගෙදරට ආ විට ඇගේ සැමියා වන කාංචන ජයරත්න මෙසේ ඇසුවේය. ‘‘මොකද අර චීන කාන්තාව බදාගත්තේ?’’

‘මම උත්සවයට ගියා. මගේ හිතේ උපන් මානුෂීය ගතිය නිසා මම චීන කාන්තාව බදාගත්තා. හදවතේ ආපු ලෙන්ගතුකම. මම කළේ රඟපෑමක් කියලා කට්ටිය කියනවා. ඇමැතිවරියක් වුණාට මමත් අම්මා කෙනෙක්. මට කඳුළුත් ආවා’’ ඇය සැමියාට උත්තර දුන්නාය.

එදා ලංකාවෙන් හමු වූ මුල්ම කොරෝනා රෝගියා සුව වී ගෙදර යන දවසේ ඇයට සමු දෙන්නට අයිඩීඑච් රෝහලට ගිය සෞඛ්‍ය ඇමැතිතුමිය දැන් ඒ රෝහලේම ප්‍රතිකාර ලබන්නීය. රෝගී වූ සිය බිරිය බලාකියා ඇයට උවටැන් කරන්නට කාංචන ජයරත්නට ඉඩක් නැත. ඒ ඔහුත් නිරෝධායනය වෙමින් සිටින බැවිනි. බිරිය ගැන තොරතුරු දැන ගැනීමට අප කාංචනට කතා කළ මොහොතේ ඔහු වසරක අතීතයට ගියේය.

‘‘කොරෝනා හැදුණු චීන කාන්තාවට හාදුවක් දීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වෛද්‍යවරුන්ද ඇසුවා. එතකොට ඇමැතිතුමිය කීවේ ඒ තමයි පවිත්‍රාගේ හැටි කියලා.’’

ඒ කතාව නම් සහතික ඇත්තය. කොරෝනාවලට පමණක් නොව, ඈ ඉස්සර ඉඳලාම ප්‍රසිද්ධ වී සිටියේ යකෙකුටවත් බය නැති ගෑනියක් ලෙසය. ප්‍රේමදාස යුගයේ ඇඹිලපිටියේ සිසුන් මරා දමා සූරියකන්දේ වළලා දමා තිබියදී එම සිරුරු ගොඩගන්නට මුල් වූ ‘යකඩ ගැහැනිය’ වූයේ ඇය ය. පොළොව යට සදාකාලිකව වැළලී යන්නට තිබූ ඒ බිහිසුණු ඝාතනය අව්ව වැස්ස, රැය දවාල නැතිව ඇය සූරියකන්ද නගිමින් ලොවට හෙළි කළාය.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here