ගම්පහ වැටුණොත් රටම වැටුණා!

0
35


‘‘මිහිකතට අරක් ගත් භූතයන් පෙළක් සේ හිස ඔසවා නැගී සිටින පර්වත කිහිපයක් සියනෑ කෝරලයේ මැද පෙදෙසෙහි ඔවුනොවුනට ලංව පිහිටා ඇත. වාරණ කොස්කඳවල පිලිලිත්තුව මාලිගාතැන්න යන කඳු ඒ අත‌රේ ප්‍රධානය. එක කුස ඔත් සොහොයුරන් සේ ඔවුහු අන්‍යෝන්‍ය නෑයෝය.’’
(වදුල – p9)

පී. නිශ්ශංක ශූරීන් රචිත වදුල නමැති අනගි නවකතාව ආරම්භ වන්නේ ඉහත උපුටා දැක්වූ වාග්ගෙත්තමෙනි. එමගින් සියනෑ කෝරළය එනම් ගම්පහ එතරම් සොඳුරු කෙම් බිමක් දැයි ඔබට සිතෙනු ඇත. නිශ්ශංක ශූරීන්ගේ වදුල සියනෑ කෝරලයේ ගැමි දිවියේ රස නොඅඩුව වෑහෙන රස වදුලකි. දැනුදු සොබා මිහිරියාවෙන් නොඅඩු සියනෑ කෝරලය – වත්මන් ගම්පහ දිස්ත්‍රික්කය යන නම ඇසෙන විට හිත තුළ ඇතිවනුයේ ප්‍රියමුසු හැඟීම් සමුදායකි. එයට හේතුව කොරෝනා මාරයාගේ ග්‍රහණයට හසු වූ විසාලා මහනුවරක් සේ ගම්පහ පිළිබඳ යම් අදහසක් රට තුළ ඇතිවීමය.

කොරෝනා වංසගතය හේතුවෙන් පෙර සේම දැනුදු අර්බුදයට පත්වුවද ගම්පහ දිස්ත්‍රික්කය යනු රටේ ප්‍රධාන ගාමක බලවේගයකි. එය රට මෙහෙයවන තීරණාත්මක එන්ජිමක් සේද සැලකිය හැකිය. වර්ග කි.මී. 1386.6ක වපසරියකින් යුතු ගම්පහ දිස්ත්‍රික්කය ග්‍රාමසේවා වසම් 1177කින්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13කින්ද මහනගර සභා දෙකකින්ද නගර සභා 5කින්ද ප්‍රාදේශීය සභා 12කින්ද යුක්තය. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 2.1ක් වන මෙහි ජනගහනය 2012 ජනසංගණනය අනුව 2,294,641කි. දිස්ත්‍රික්කයේ විශාලතම නගරය මීගමුව වන අතර අගනගරය ගම්පහය. මෙසේ ලංකාවේ වැඩිම ජනගහනය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කය ඉහළ ජන විවිධත්වයක්, ජෛව විවිධත්වයක් සහ යම් සංස්කෘතික විවිධත්වයක්ද නියෝජනය කරයි. ලංකාවේ සේනානායක පවුලෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයට ඉහළ බලපෑමක් කළ, එසේම මෙරට සමාජ දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ෂයක් වන බණ්ඩාරනායක දේශපාලන පවුලද ගොඩනැගෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළය. මෙනිසා වර්තමානය සේම මෑත අතීතයේද ගම්පහ ලංකාවේ ගමන් මගේ යම් තීරණාත්මක සාධකයක් සේ ක්‍රියා කර තිබේ.

1978 වසර තෙක් ගම්පහ අයත් වූයේ කොළඹ දිස්ත්‍රික්කටය. 1978දී වසරේදී ගම්පහ නමැති නව පරිපාලන දිස්ත්‍රික්කය බිහි විය. ගම්පහ මහ නගර සභාවක් බවට පත්වූයේ 2002 වසරේ අප්‍රේල් 16දාය. මෙම අතීතයෙන් තරමක් එහාට ගොස් බලන විට ගම්පහට තිබෙන්නේ ඓතිහාසික ආගමික හා සංස්කෘතික වාණිජමය වශයෙන්ද ගොඩනැගුණු පදනමකි. මහා වංශයේ එන තොරතුරු අනුව බුදුරජාණන් වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයට වැඩම කර තිබේ.

ඒ උන්වහන්සේ කැලණියට වැඩම කරවීම නිසාය. මෙසේ බුදු සිරිපාවලින් උත්කර්ෂය ලැබූ ගම්පහ දිස්ත්‍රික්කය හා බැඳුණු රජවරු කිහිප දෙනෙක්ද සිටිති. එයින් බෙහෙවින් කතාබහට ලක්ව තිබෙන්නේ වළගම්බා රජුය. ඓතිහාසික සාධක නොමැති වුවද ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්තුලාවල තිබෙන ජනප්‍රවාද අනුව දිගින් දිගටම දෙමළ ආක්‍රමණවලට ගොදුරු වූ වළගම්බා රජු පණ බේරා ගැනීමට පැමිණියේ ගම්පහටය. මොහු එසේ පැමිණ තම බිසවුන් වහන්සේලා සහ පිරිවර සෙනඟ සමග සැරි සැරූ තැන් කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ තිබේ. මාලිගාතැන්න, වාරණ, පිලිකුත්තුව ආදී ස්ථාන වන වළගම්බා රනු සැරි සැරූ බව කීවේ එකල මෙයට වඩා ගණ කැලෑවෙන් වැසී තිබුණු බවට සිතිය හැකි පිලිකුත්තුව වැනි ස්ථාන ස්වාභාවික බලකොටු සේ වළගම්බා රජුට ආරක්ෂාව සපයන්නට ඇති බවය. ගම්පහ නගරයෙන් ආරම්භ වන මාර්ග අංක 215 දරන බස් රථය ගමන් කරන්නේ හැලනිවල නමැති ගමටය. එම ගමට එකී නම ලැබී තිබෙන්නේ වළගම්බා රජුගේ බිසවුන් වහන්සේගේ හවරිය වැටුණු පොකුණ එහි තිබෙන නිසාය. එහි බොහෝ පාරම්පරික ගම්වැසියන්ට නිශ්ශංක යන වාසගම ලැබී තිබේ. එය නිශ්ශංක මල්ල රජුගෙන් ලැබුණු වාසගමක් බව එහි බොහෝ ගම්මු ලියුම්කරු සමග පැවසූහ. මෙකී අතීතයෙන් මිදී ක්‍රි.ව. 18 වැනි සියවසට පැමිණෙන තෙක්ම ගම්පහ එතරම් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවීය. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මුහුදුකරයේ ප්‍රදේශ තරමක් ජනාකීර්ණ වී තිබුණ බව සිතිය හැකි වුවද ගම්පහ මැද කොටස එතරම් ජනාකීර්ණ වී නොතිබුණ බව පෙනේ. ඓතිහාසික තොරතුරු අනුව පෘතුගීසීහු ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බොහෝ ප්‍රදේශවලට ආව ගියෝය. පෘතුගීසි ආක්‍රමණිකයෝ කෑරගල පිරිවෙන කොල්ලකෑවෝය. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වැලිවේරිය ප්‍රදේශ කතෝලික බැතිමතුන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්වූයේ පෘතුගීසීන් මෙම ප්‍රදේශ හරහා උඩරටට ගමන් කළ හෙයිනි. විශේෂයෙන් හංවැල්ල හරහා ගම්පහට අයත් ප්‍රදේශවලට පහසුවෙන් ඇතුළු විය හැකිව තිබුණු බව පෙනේ.

පෘතුගීසීන්ගෙන් පසු ලංකාවට පැමිණි ලන්දේසීන්ට නම් ගම්පහ කුරුඳු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විය. ඔවුන්ගෙන් පසු පැමිණි ඉංග්‍රීසීන්ගේ කාලයේදී ඇති වූ වෙනස්කම් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ ක්‍රමයෙන් ජනාකීර්ණ වීමට බලපෑවේය. ලංකාවේ පස්වැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ එඩ්වඩ් බා(ර්)න්ස් 1822 දී ගම්පහට ආවේය. මෙම ගමනේදී ඔහු මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කළේය.
මේ අතර බ්‍රිතාන්‍යයෝ 1928දී මොරගොඩ පල්ලිය ඉදි කළහ. එසේම කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීෙ‍ම් වැඩපිළිවෙළ ආරම්භ වීම නිසා ගම්පහට හෙනරත්ගොඩ නමින් දුම්රිය ස්ථානයක් ලැබුණේය. වර්තමානයේ ගම්පහ දුම්රිය ස්ථානය නමින් හඳුන්වන තැන මුලින් හැඳින්වූයේ හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය යනුවෙනි. ඒ 1866 වසරේදීය. ලංකාවේ ඉපැරණිම දුම්රිය ස්ථාන අතරින් එකක් වන එම දුම්රිය ස්ථානය නිසා ගම්පහ ජනාවාසකරණය වේගවත් විය. ඉංග්‍රීසීන් කන්ද උඩරට සිට කොළඹට තේ, කෝපි පලදාව ප්‍රවාහනයට ඉදි කළ මෙකී දුම්රිය ස්ථානය නිසා රටේ සෙසු ප්‍රදේශ සමග ගම්පහ සම්බන්ධ විය. ලංකාවේ පළමු රබර් පැළය ද රෝපණය කරන්නේ ගම්පහ නගරයට සමීපව පිහිටි හෙනරත්ගොඩ උද්භිද උද්‍යායනයේය. ඒ 1867 වසරේදීය. මෙසේ ක්‍රමයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මැද කොටස් ජනාවාසකරණයට ලක්වන්නට විය. 1920 පමණ ගම්පහ නගරය ගොඩනැගීමේ සැලසුමක් ක්‍රියාත්මක විය.

මේ ආකාරයට ඓතිහාසික ශක්තිමත් ගමන් මගක් සහ ක්‍රමවිකාශනයක් සහිත ගම්පහ දිස්ත්‍රික්කය එයට ආවේණික විවිධත්වය නිසා සමස්ත රටට කරන බලපෑම සුළුපටු නොවේ. මෙම විවිධත්වය ඇති කිරීමට ගම්පහින් බිහි වූ මානව සම්පත් මගින් ඉටු කළ සේවය අනගි එකකි. ලංකාවේ පළමුවැනි ආයුර්වේද විදුහල ආරම්භ කළේ පණ්ඩිත වෛද්‍ය විශාරද වික්‍රමාරච්චි වෙද රාළහාමිය. ඒ 1929දීය. දැනුදු ගම්පහ වෙද ගෙදරක් නැති තැනක් නොමැති තරම්ය. ගම්පහ බෙහෙත් ශාලා ලංකාවේ බොහෝ ප්‍රදේශවල තිබේ. ඒ අනුව ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ප්‍රබෝධයේ මධ්‍යස්ථානය ගම්පහය. එපමණක්​ නොව මහගමසේකර, කේ. ජයතිලක, මහාචාර්ය ඒ.වී. සුරවීර වැනි සියනෑ කෝරළයේ පුත්‍රයන් ලංකාවේ කලාවට සහ බුද්ධි සම්ප්‍රදායට කළ සේවය මහඟුය. මහගමසේකරයන්ගේ සෙවණැල්ල ලංකාවේ සිනමාව, ගේයපද කලාව, කවි කලාව, කෙටි කතා සහ නවකතා කලාව, චිත්‍ර හා මූර්තිකලාව යන සකල විධ කලාවන්ට වැටී තිබේ. එමගින්ද ගම්පහට ආවේණික විවිධත්වය වැඩි වී තිබේ. ගම්පහ බෙහෙවින් දැකිය හැක්කේ වී ගොවිතැනය. එයට අමතරව රබර් වගාව, බුලත් සහ පුවක් වගාව සහ අන්නාසි වගාවටද ගම්පහ ප්‍රකටය. රඹුටන්වලින්ද ගම්පහ අඩුවක් නැත. වාර්ෂිකව සැලකිය යුතු වර්ෂාපතනයකට හිමිකම් කියන ගම්පහට ගොවිතැනට සරු බිමකි.
ලංකාවේ 1977න් පසු ඇතිවූ විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ අනුව ප්‍රධාන පෙළේ ආයෝජන කලාප කිහිපයක් ගම්පහ පදනම් කරගෙන බිහිවිය.

කටුනායක, බියගම, නිට්ටඹුව, මල්වත්ත, වතුපිටිවල, මීරිගම හා ආයෝජන කලාප අපනයන සැකසුම් කලාප ​මේ කර්මාන්තශාලා අතර ප්‍රධානයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති කර්මාන්තශාලා ගණන 30,896 කි. ඉන් 9,937 ක්ම ඇත්තේ රෙදිපිළි අඟලුම් හා සම් භාණ්ඩ කම්හල්ය. දිස්ත්‍රික්කයේ මුල් කර්මාන්තහාලා අතරින් ඒ අගය සියයට 32.21 කි.
එමගින් ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ ආර්ථික සංවර්ධනයද තීරණාත්මක බලවේගයක් බවට පත්විය. එසේම ලංකාවේ සහල් මිල සහ පොල් මිල කේවල් කිරීමේ හැකියාවක්ද ගම්පහට තිබේ.

ජාතික ව​ශයෙන් සේම ජාතික ආරක්ෂාව පැත්තෙන්ද ගම්පහ දිස්ත්‍රික්කය තීරණාත්මක මධ්‍යස්ථානයකි. එයට හේතුව රටට ගුවනින් ඇතුළුවන අන්තර්ජාතික කටුනායක ගුවන්තොටුපොළ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වීමය. ගුවන් මගින් පිරිස් රටට ඇතුළු කර ගැනීමේ සහ පිට කිරීමේ බලය තිබෙන කටුනායක ගුවන්තොටුපොළ ලංකා ආර්ථිකයේද මර්මස්ථානයකි. කටුනායක ගුවන් හමුදා කඳවුර ඇතුළුව ජාතික ආරක්ෂාවට වැදගත් වන ස්ථාන කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ රටේ අන් දිස්ත්‍රික්කවලට වඩා තනි දිස්ත්‍රික්කයක් හැටියට රටට බලපෑම් කරන කේන්ද්‍රස්ථානයක් සේ ගම්පහ සැලකිය හැකි බවය. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන රැසකට ශ්‍රම දායකත්වය සපයන විශාල පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිටිති. සංඛ්‍යා ලේඛන අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ගැහැනු පිරිමි සේවා නියුක්තිය 48.2%කි. මෙමගින් පෙනෙන්නේ ලංකා ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සම්පාදනයේදී ගම්පහ දිස්ත්‍රික්කය තීරණාත්මක බලපෑමක් කරන බවය. එම දිස්ත්‍රික්කයේ තිබෙන බොහෝ කර්මාන්ත ශාලා මගින් නිෂ්පාදනය කරන නිෂ්පාදනවල ඉලක්කය විදෙස් වෙළෙඳපොළය. එමගින් සේම මීගමුව, වත්තල, වැනි ප්‍රදේශ නියෝජනය කරන විදෙස් ශ්‍රමිකයන් රැසක් එවන විදෙස් මුදල්වලින් ලංකාවේ විදේශ මුදල් සංචිතයට සැලකිය යුතු දායකත්වයක් ලැබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද තම ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ තාක්ෂණවේද අධ්‍යාපනයේ හබ් එක සේ ගොඩ නැගීමට අපේක්ෂා කරන බවය. එමගින් පෙනෙන්නේ ලංකාව වේගයෙන් දියුණු වෙන සෙසු ලෝකය සමග යන ගමනේදී ගම්පහ දිස්ත්‍රික්කයට ඉටු කිරීමට සුවිශේෂී වගකීම් රැසක් තිබෙන බවය. එනිසා දැනට උද්ගත වී තිබෙන කොරෝනා වසංගතය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය දින කිහිපයට හෝ වසා තැබීමට සිදුවීම රටේ සමස්ත ගමන් මගට අහිතකර ආකාරයට බලපානු ඇත. එහෙයින් එය වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් තිබිය යුතුය. දැනට ලැබෙන තොරතුරු අනුව කොරෝනා රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ ඇඟලුම් කම්හලේ බලධාරීන් එවැනි වගකීමර්කින් කටයුතු නොකර ඇති බව පෙනේ. එම කරුණු සැබෑ නම් එමගින් ඔවුන් අනතුරේ හෙළා ඇත්තේ සමස්ත රටය.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here