02 මාතර – කොළඹ – සියළු දෙවියෝ රැකදෙත්වා!

ඔන්න බස්! විදලා යන්නෙ! කොළඹින් නග්ගනකොට අත වනලා පාරෙ ඉන්න බල්ලොන්වත් නග්ගගත්තට, බහිද්දි තමයි සද්දෙ. උදාහරණෙකට කළුතරින් බහින කෙනෙක් පානදුරෙන්වත් සීට් එකෙන් නැගිටලා ඉස්සරහට ගිහිල්ලා, කොන්දොස්තරට කියල, ඩ්‍රයිවර්ට කියලා, දොර ගාව එල්ලිල ඉන්න හැම මිනිහටම කියලා, තමංගෙ පොකට් එකට හොරු විද්දද කියලත් බලල තමයි බහින්න ඕන. ඒකත් ගොඩක් වෙලාවට හෝල්ට් එකක් දෙකක් පහුවෙලා තමයි. ඒවගේම ඔයා කොල්ලෙක්නං කවදාවත් බස් එක නවත්තයි කියලා හිතන්න එපා. පැයට අසූවට ආපු බස් එක හැට පහට විතර ස්ලෝ කරල පයින්න කියල තමයි ඒගොල්ලො කියන්නෙ.
234 දෙල්ගොඩ – පිටකොටුව – අනාගතය අදයි

සාමාන්‍යයෙන් කියන්නෙ පිටකොටුවෙන් අද දෙල්ගොඩ යන්නනං ඊයෙවත් එන්න ඕන කියලයි. මොකද බස් එක යන්නෙ යයිද කියල හිතාගන්න බැරි තරං හෙමිං. පටු පාරවල් තමයි මේ ට්‍රැෆික් එකට මූලික හේතුව. කිරිබත්ගොඩ, කැලණිය පැන්නට පස්සෙ ඉතිං අඬන්න තමයි තියෙන්නෙ. වැස්ස වෙලාවක වුනත් පුදුම රස්නයක් තියෙන පැත්තක් නිසා තවත් සනීපයි.
120 හොරණ – පිටකොටුව – අපි ඈතට ඈතට පා නගලා

සාමාන්‍යයෙන් කියන්නෙ 120 බස් පාරෙ ප්ලේලිස්ට් එක දාගෙන ඇස් වහගෙන ගියොත් සින්දු තිස්හයක් දෙපාරක් විතර රිපීට් යද්දිත් ඔබ ඉන්නෙ ගමනෙ මැද කියලයි. ගමන ඒ තරං හිරවෙනව. ඉස්කෝල, ඉස්පිරිතාල, ටවුන්, අටෝරාසියක් ඇඳුම් කඩ, ගාමන්ට්, වගේම පාරවල් පිරෙන්න මිනිස්සු ඉන්න නිසා යන්න තියෙන්නෙ ඉතිං දෙවියොන්ට පිං දිදී තමයි.
138/2 මත්තෙගොඩ – පිටකොටුව – සදා අනාථං!

මත්තෙගොඩ කියන්නෙ දරුණුවටම නාගරික පැත්තක්. එහෙම පැත්තක හොඳින්ම තියෙන ඕන දෙයක් තමයි ප්‍රවාහනය. ඒත් ඒ පැත්තෙන් කොළඹට සෙට්වෙන්න තියෙන එකම බස් රූට් එක වෙච්ච 138/2 විතරයි. ඒක තමයි මත්තෙගොඩ නිවාස සංකීර්ණයෙන් ඇරඹෙන එකම බස් අංකය වන්නෙත්. එහෙම වෙද්දි ඒ වගේ බස්රූට්වල අඩුපාඩුකම් ඇතිවෙන එක පුදුමයක් නෙමෙයි.
- මුලින්ම තියෙන ප්‍රශ්න රෑට යන්න බස්.
- දෙවනි ප්‍රශ්නෙ රෑට එන්න බස්.
- තුන්වෙනි ප්‍රශ්නෙ බස්වල සෙනඟ වැඩිකම(ඒක ආණ්ඩුවෙ ඇතුළුව වගකිව යුතු බොහෝ දෙනෙකුගෙ වැරැද්දක්).
- හතර ට්‍රැෆික් නැතිවෙලාවටත් කොටකොට යන එක(එකම බස් එක වුනාම එහෙම තත්ත්වයක් ඇතිවෙන එක වලක්වන්න බැහැ).
- පහ ට්‍රැෆික් වැඩිකම(සෙනඟ වැඩි පැත්තක ට්‍රැෆික් පුදුමයක් නෙමෙයිනෙ).
මේ හින්ද මත්තෙගොඩ පැත්තෙ යනකොට හොඳට වෙලාව ඇතුව යන්නත් එන්නත් මතක තියාගන්න ඕන. ඒ වගේම ආණ්ඩුවත් ඒවගේ පැත්තකට මීටවඩා ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න හිතන්න ඕන.
117 රත්මලාන දුම්රියපොළ – නුගේගොඩ – වන්දනාවේ යමු පේවීලා

ඉන්න තියෙන්නෙ වාඩි වෙලා. හිටගෙන ඉන්න වුනොත්නං දුක තමයි. හැබැයි මේ බස් එකට ගොඩක් වෙලාවට නගින අවුරුදු 45 – 50 අතරෙ වයස ගැහැනු අය හින්දා මේකෙ පැවැත්ම කොල්ලෙකුටනං අමාරුයි. මුලිම්ම හිනාවෙලා සීට් එක ඉල්ලනව. පස්සෙ ඔරවගෙන යනව. ඒවගේම කන ගාව ඉඳගෙන කෑගහන ඒගොලොන්ගෙ හැට්ට මහපු හැටිත් අහගෙන යන්න වෙනව. ඔෆිස් ටයිම් එකට හිතාගන්න බැරිතරං හිරවෙන මේ බස් එකේ හිටගෙන ගිය මනුස්සයෙකුට ඉවසීම ගැන නං කියල දෙන්න හදන්නෙපා මහත්තයෝ!
Lakviru Media Network