තවමත් තරුණ සුද්දගේ පාලම් සීයා

0
90


දැරණියගල ප්‍රදේශය වනාහී මනස්කාන්ත භුමිදර්ශන, විවිධ ආගම්, ආකර්ෂණීය සංස්කෘතීන්ගෙන් හෙබි අපූර්ව සහ අද්විතීය සුසංයෝගයක් සංචාරකයන්ට පිරිනමන ප්‍රදේශයකි. සුදු අධිරාජ්‍යවාදීන් යටතේ සිට සබරගමුව පළාතට සුවිශේෂී වැදගත්කමක් හා ඇල්මක් දක්වා ඇති බව අදටත් ඉතිරි වී ඇති නටබුන්වලින් පෙන්නුම් කෙරේ. තේ වතු, රබර් වතු, පොල් වතුවලින් සශ්‍රීක මුතු මැණික් දිය ඇලි ගංගා, ඇළදොළවලින් හා එදවස අප රජ දරුවන් විස්කම් පෑ රාජධානීන්ගේ නටබුන් ද ඒ අතර වේ. සෞම්‍ය දේශගුණය හා දැරණියගල ජීවත්වන මිනිසුන්ගේ අව්‍යාජත්වය ගැමි සුවඳ එකට කැටිවූ මේ පළාතේ ඇවිද යාම ඔබට නවමු අත්දැකීමක් අත්කර දෙනවාට සැක නැත.

පළාත තුළ සුවිශේෂී වටිනා ස්ථානද රැසකි. ඒ අතුරින් කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවමින් දිනෙන් දින අභාවයට යන පුරාවිද්‍යා වටිනාකමක් ඇති මිනිසුන් ලක්ෂ ගණනක් එගොඩ මෙගොඩ කරවූ අදටත් භාවිතා කරන බරලන්තොට කම්බි පාලම පිළිබඳව ලියා තැබීමට ඇවිදිමු ලංකා සංචාරක සමූහයේ අප එහි සංචාරය කළෙමු.

අප රටේ බි්‍රතාන්‍යයන් පාලනය කරන සමයේ මාර්ග පහසුකම් පිළිබඳව වඩාත් අවධානයක් යොමු කර ඇත. ඒ අන් කිසිවක් නිසා නොවේ. ඔවුන් අපනයනය කිරීමට වගා කළ තේ කෝපි රබර් ප්‍රවාහන කිරීමට පහසුවන නිසාවෙනි. කන්ද උඩරට තේ කෝපි ප්‍රවාහනයට දුම්රි මාර්ග නිර්මාණය කළා සේම අනිකුත් සෙසු පළාත් තුළ ගම් නියම් ගම් යා කිරීමට පාලම්, කම්බි පාලම් අදියද සාදා ඇත. දැරණියගල කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතා හොඳ දේශගුණික තත්ත්වය නිසාවෙන් මෙහි තේ හා රබර් වතු ආරම්භ කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස කම්බි පාලම් තුනකුත් සෑම දුෂ්කර ගමකට තාර යෙදූ මාර්ගද සැකසිණි. අදද දැරණියගල නුරිය මාර්ගයේ කිලෝමීටර විස්සක් පමණ සුදු ජාතිකයන් සැදූ මාර්ග භාවිතා කිරීමම පුදුමයකි. එයින්ද වැඩි කතාබහට ලක්වන ශ්‍රී ලංකාවේ උසම කම්බි පාලම (සංගිලි පාලම) ද දැරණියගල බරලන්තොටදී ඉදිවී ඇත. ඒ මාලිබොඩ වතුයායේ සිට රබර් ප්‍රධාන මාර්ගය දක්වා රැගෙන ඒම සඳහා නිර්මාණය කරන ලද්දකි. මෙම පාලම උසින් අඩි 90ක් සහ දිගින් අඩි 210ක් පමණ වේ. ප්‍රධාන කේබල් ඝනකම අඟල් එක හමාරක් පමණ වෙයි. රක්ත පැහැයෙන් වර්ණ ගැන්වූ පාලම සෑදීමට සිංහල මිනිසුන් සියයක් සහ ඉතාමත් නිර්මාණශීලී බාස් කෙනෙකුද සේවය කර ඇති බව සඳහන්.

සුදු ජාතිකයන්ගේ අනින් පාලමෙහි වැඩ කළද සැබැවින්ම මෙම පාලමත් ආරුක්කු නවය පාලම සේම අපගේ මුතුන් මිත්තන්ගේ කැපවීම, මහන්සිය, නිසාවෙන් ඉදිවූ ලද්දකි. අඩි තිහක් හතළිහක් පමණ උස තනි යකඩ කණු ගංගාව ඔස්සේ ගෙන එමින් අලි ඇතුන් ලවා තම ජීවිත ගැනද තැකීමක් නොකර මෙහි වැඩ කටයුතු අවසන් කර ඇත.

ඔබ පාලම මතට ගොස් පාලම සෑදුණු ආකාරය සිහිකර ගන්නා විට පුදුමසහගත බවක් දැනේ. එය එතරම් වෙහෙස දනවන ඉතාමත් බැරෑරුම් කාර්යයකි. කැලණි ගංගාවේ දැරණියගල ප්‍රදේශයෙ උසින් වැඩිම ස්ථානයක් මේ සඳහා තෝරා ගත්තේ කුමන හේතුවක් සඳහා දැයි නොදනියි. කෙසේ වෙතත් සුදු ජාතිකයන්ගේ නම ගිය අප සිංහලුන්ගෙ හම ගිය පාලමේ විවිධ ජනප්‍රවාදද පවතී. පාලම අවට පැරැණි ගැමියන්ද පාලම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු නොදනී.

දැනගෙන සිටියවුන් වියපත්ව මියගොස් ඇත. කිසිදු ලේඛනගත කිරීමක්ද නැත. ඒ අනුව මෙම පාලම 1920 දී වැඩ අවසන් කර ඇති බව පැවසේ. ඒ අනුව දැනට පාලමේ වයස වසර සියයකි. පාලමෙහි ආරම්භක දිනය විමසන විට ගැමියන් එක් එක් වර්ෂ සඳහන් කළත් වැඩි පිරිසකගේ මතය 1920 ය.

පාලම වටා ගෙතුණු කතාද බෝහොමයකි. එයින්ද ප්‍රසිද්ධ කතාව මෙසේය. මෙම පාලමට ප්‍රථමව සාදා අවසන් කළ පාලමේ ප්‍රධාන බාස් පාලම මතට වී සුදු ජාතිකයන්ගේ සතුට වෙනුවෙන් ලබා දුන් සැර බීම සමඟ සාදයක් පවත්වා ඇත. ප්‍රධාන බාස් සමඟ ඉතාමත්ම කිට්ටු සේවකයන් පමණක් සහභාගි වූ සාදය අතරතුර ප්‍රධාන බාස්ගේ මුවින් සමන් දෙවියන්ට අගෞරවයක් වී ඇත. “පාලම හැදුවේ සමන් දෙවියෝ නෙවෙයි බොල. මේ මමයි පාලම හැදුවේ. ඒ හින්ද බය වෙන්න එපා කියා මොහොතක් යන්නට මත්තෙන් මහා ජල කඳක් විත් පාලම සම්පුර්ණයෙන් ගසාගෙන ගොස් ඇත.

ප්‍රධාන බාස් එයින් ජීවිතක්ෂයට පත් වී තිබේ. එයින් පසු සබරගමුව සුදු ආණ්ඩුකාරවරයා දැරණියගල සමන් දෙවොලට ගොස් බාර හාර වී නැවතත් පාලම සෑදූ බව සඳහන් වේ. අදද මෙම පාලමට ප්‍රථමව සෑදූ ජලයට ගසා ගෙන ගිය පාලමේ කණු හා මුල් අත්තිවාරම් දැකිය හැකියි.
අද වන විට පාලම තරමක් දුරට නවීකරණය වී ඇතත් මීට වර්ෂ කිහිපයකට ඉහතදී පාලමට කිතුල් ලෑලි දමා තිබී ඇත. පාලම හරහා විශේෂයෙන් සෑදූ කරත්ත මගින් රබර් එගොඩ මෙගොඩ කර පාලම අසල ඇති ගබඩාවන්ට පුරවා තිබේ. අදද ගබඩාවෙහි නටබුන් දැකගත හැකිවේ. වසර සියයක් සපිරෙන මේ ලංකාවේ උසම පාලම තවත් වසර සියයක් රැකගැනීම කාගෙත් යුතුකමය.
ඉදුන් සම්පත් දැරණියගල


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here