තහනම නිසා ලංකාවේ අපට බලන්න, කියවන්න නොලැබුණු චිත්‍රපටි, ටෙලි නාට්‍ය, පොත් 7ක් – Lakviru Media Network

0
289


 

අපේ රටේ මොකක් හරි චිත්‍රපටයක්, ටෙලිනාට්‍යයක් හෝ පොතක් තහනමට ලක්වුණා කිවුවම හුඟක් දෙනෙකුට මුලින්ම ඔලුවට එන හේතු තුනක් තියනව. ඒ තමයි ලිංගිකත්වය, යුද්ධය හෝ ආගම. ලංකාවේ නිර්මාණ වැඩි ප්‍රමාණයක් තහනමට ලක්වීමට හේතු වුණ කාරනා තුන තමයි ඔය (මේක ලංකාවට විතරක් පොදු කරුණකුත් නෙමෙයි).

කිසියම් කලා නිර්මාණයක් තහනමට ලක්වෙන්නෙ අනවශ්‍ය ලෙස ලිංගිකත්වය හුවා දැක්වීම හෝ ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් බලපෑමක් ඇති කරන ආන්දෝලනාත්මක කරුණු  ඉදිරිපත් කිරීම වැනි සාධක නිසා පමණක්ම නෙමෙයි. විවිධ දේශපාලන බලපෑම් මතත් සමහර විට අදාල බලධාරීන්ගේ නොදැනුවත්කම් මතත් ඇතැම් කලා නිර්මාණ වාරණයට ලක්වී තිබෙනවා.

මේ විදිහට වාරණයට ලක්වූ කළාකෘති බොහොමයක් අපේ රටේ ඉතිහාසය හාරා අවුස්සා බැලීමේදී අපිට හමු වෙනවා.

අද අපේ ලැයිස්තුවෙන් අපි ඔබ වෙතට ගෙන එන්නේ ලංකාව තුළ තහනම් වූ එවන්වූ කලා නිර්මාණ 7ක් ගැන තොරතුරුයි.

 

1. අක්ෂරය චිත්‍රපටය – අශෝක හඳගම
Source - 3mana.com
Source – 3mana.com

අශෝක හඳගම මහතාගේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අක්ෂරය චිත්‍රපටය තිරගත කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් තහනමක් පැණවෙන්නේ නෑ. ඔවුන් වැඩිහිටියන්ට පමණය වර්ගීකරණය යටතේ එම චිත්‍රපටය තිරගත කිරීමට අවසරය ලබාදෙනවා. කෙසේ නමුත් එවක සංස්කෘතික ඇමතිවරයාගේ මැදිහත්වීම මත මේ චිත්‍රපටය තහනම් කිරීමට කටයුතු යෙදෙනවා. කුඩා දරුවෙක් සහ කාන්තාවක් සම්බන්ධ ජවනිකාවක් මූලික කොටගෙන තමයි මේ තහනම පැණවීමට හේතු සැපයෙන්නේ.

කෙසේ වෙතත් මේ තහනමත් සමගම මේ චිත්‍රපටය සහ වාරණයේ සාධාරණ අසාධාරණ භාවය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල කතාබහක් ඇති වෙනවා. මවු සෙනෙහස කෙළෙසන අසම්මත ජවනිකා ඇති චිත්‍රපටයක් ලෙසට සමහරුන් තර්ක කරද්දී තවත් සමහරුන් නිර්මාණයේ ස්වාධීනත්වය ගැන අදහස් දක්වනවා. කෙසේ නමුත් තහනම මධ්‍යයේ වුවත් විශාල පිරිසක් අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ මේ චිත්‍රපටය නැරඹීමට මේ වනවිට සමත්ව තිබෙනවා.

 

2. ඉගිලෙන මාලුවෝ චිත්‍රපටය – සංජීව පුෂ්පකුමාර
Source - blogs.indiewire.com, bbc.com
Source – blogs.indiewire.com, bbc.com

සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාලුවෝ සිනමාපටයත් මෑතකදී ඉතාමත්ම ආන්දෝලනයක් ඇති කරමින් තහනමට ලක් වූ චිත්‍රපටයක්. හමුදා නිලඇඳුම් භාවිතා කරමින් හමුදාව අපකීර්තියට පත්කිරීම මේ චිත්‍රපටයට එරෙහිව එල්ලවූ මූලිකම චෝදනාවයි. ඊට අමතරව එල්.ටී.ටී සංවිධානයේ මුදල් ආධාර ලබා නිර්මාණය කරන ලද චිත්‍රපටයක් හැටියටත් මේ චිත්‍රපටයට චෝදනා එල්ල වුණා.

චිත්‍රපටයේ පිටපත් රාජසන්තක කල අතර ශිල්පීන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමටද කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් තහනමත් සමග කරළියට පැමිණි චිත්‍රපටයේ ආන්දෝලනයට තුඩුදෙන යම් යම් සිදුවීම් චිත්‍රපටය පිළිබඳ මහත් ප්‍රේක්ෂක උනන්දුවක් ඇති කිරීමට සමත්වුණා. ඉගිලෙන මාලුවෝ චිත්‍රපටයද තහනම මධ්‍යයේ වුවද බහුතරයක් මේ වන විට නරඹා ඇති චිත්‍රපයක් වී හමාරයි.

 

3. දුටු ගැමුණු – ලංකාවේ මුල්ම කාටූන් චිත්‍රපටය – ගිවන්ත අර්ථසාද්
Source - dailynews.lk, sarasaviya.lk
Source – dailynews.lk, sarasaviya.lk

ශ්‍රී ලාංකික සිනමාව ඇතුලෙ කාටූන් චිත්‍රපට වලට ඇති තැනක් නැත්තේම තරම්. කාටූන් චිත්‍රපට නිර්මාණය වෙන්නේද නැති තරම්. අද තත්ත්වය එසේ වුවත් ලංකාවේ මුල්ම කාටූන් චිත්‍රපටය බිහිවීම 1979 වර්ෂය වැනි ඈත කාලයකට දිව යන්නක්. ඒ තමයි අපි මේ කියන්න යන දුටු ගැමුණු චිත්‍රපටය එළිදැක්වූ වර්ෂය. ප්‍රවීණ සිනමාවේදී ගිවන්ත අර්ථසාද් මහතාගේ නිර්මාණයක් වන දුටුගැමුණු චිත්‍රපටය තුළින් දුටුගැමුණු රජ චරිතය නවීන සහ වෙනස්ම ආරකින් යුතුවයි ඉදිරිපත් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් 1979 වර්ෂයේ ඔක්තෝම්බර් 19 වැනිදා තිරගත කිරීම අරඹන දුටුගැමුණු විත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට ලැබෙන්නේ එකම එක දවසකට පමණයි. හේතුවක් නැතිවම එහි ප්‍රදර්ශනය අත්හිටවනු ලබනවා. අදටත් මේ චිත්‍රපටය තහනම් කිරීම ගැන විවිධ අර්ථකතන සැපයෙනවා. සුරනිමල යෝධයා විසින් අලියෙක්ව කරකවා විසිකිරීමේ දර්ශනයකින් එවක පැවති ආණ්ඩුවට පහරක් වැදීම නිසා මෙය වූයේයයි යන්න සමහරු විසින් දරන මතයක්. දුටු ගැමුණු වැනි වීර චරිතයක් කාටූනයකට නැගීම මගින් ඒ චරිතයට අපහාසයක් වන නිසා තහනමට ලක් වුණිය යන්න තවත් මතයක්.

 

4. අවසඳ ටෙලි නාට්‍යය – සෝමරත්න දිසානායක
Source - sarasaviya.lk
Source – sarasaviya.lk

1990 වර්ශයේ විකාශය කෙරුණු අවසඳ ටෙලිනාට්‍යය මද කලක් විකාශය කිරීමෙන් පසුව හිටිහැටියේ තහනමට ලක්වූ ටෙලියක්. සෝමරත්න දිසානායක මහතාගේ අධ්‍යක්ෂණයක් වන මේ ටෙලිනාට්‍යයට ඩග්ලස් රණසිංහ සහ ගෝතමී පතිරාජ රංගනයෙන් එක්වී තිබුණා.

බොහෝ දෙනෙක් නැරඹු අවසඳ ටෙලිනාට්‍යය අතරමග ඇණ හිටින්නට හේතු වන්නේ එවක රජයේ සිටි ඇමතිවරයෙකුගේ විධානයක් නිසාවෙනුයි. ධනවත් පවුලක තරුණියක් සහ ඒ පවුලේ සේවකයකු අතර ඇතිවන සම්බන්ධතාවයක් විදහා දක්වන මේ ටෙලියේ එක් ජවනිකාවක තරුණිය විසින් සේවක තරුණයාගේ පිටේ දහඩිය පිසින රූප රාමුවක් ඇතුළත්වීම මෙයට හේතුවී ඇතැයි යන්න එකල බහුතරයක් අතර තිබුණු මතයක්.

අසභ්‍ය සිදුවීම් කිසිවක් නොමැති හොඳ කතාවස්තුවකින් සමන්විත ඒ නාට්‍යය තහනමට ලක්වීම කලා රසයක් නොමැති පුද්ගලයන්ගේ මුග්ධ තීරණ වලට හොඳ උදාහරණයක්.

 

5. A330 ටෙලි නාට්‍යය – චාමර ජනරාජ් පීරිස්
Source - photo.gossip-lankanews.com
Source – photo.gossip-lankanews.com

2014 වර්ෂයේදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරමින් තිබූ A330 ටෙලිනාට්‍යය චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණයක්. යාය 4, අයාල්, පියවි වැනි කැපී පෙනෙන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කල චාමර මේ නාට්‍යයේ තේමාව කොටගෙන තිබුණේ ගුවන් සමාගමක සේවක සේවිකාවන්ගේ ජීවිතයි.

කොටස් කිහිපයක් ප්‍රචාරණයෙන් පසුව මේ ටෙලිනාට්‍යය ප්‍රදර්ශනය කිරීම නවතා දමන්නට ස්වාධීන රූපවාහිනියට සිදුවනවා. ඒ එයාර් ලංකා සමාගම විසින් කරනු ලබන පැමිණිල්ලක් නිසාවෙන්.  අධිකරණ නියෝගයක් මගින් එම සමාගම පවසා තිබෙන්නේ ගුවන් සේවක සේවිකාවන්ගේ ඇඳුම් සහ එයාර් ලංකා සමාගමේ ලාංඡන ටෙලිනාට්‍යෙයන් ඉවත් කරන ලෙසටයි. කෙසේ නමුත් නිෂ්පාදනය කොට අහවරව ප්‍රදර්ශනයත් ඇරඹි පසු එසේ කිරීම අපහසු බව අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා.

 

6. දැති රෝදෙන් උපන් බුදුන් කෙටිකතා සංග්‍රහය – ටෙනිසන් පෙරේරා
Source - dinamina.lk, feelgrafix.com
Source – dinamina.lk, feelgrafix.com

දණ්ඩ භූමි, භවාන්තරය, එකොළොස් ගිණි ආදි නවකතා රචනා කර තිබෙන ටෙනිසන් පෙරේරා කියන්නෙ අපිට ඉන්න ප්‍රවීණතම ලේඛකයෙක්. එතුමා විසින් රචිත කෙටි කතා සංග්‍රහයක් වන දැති රෝදෙන් උපන් බුදුන් කියන කෘතිය එළිදැක්වෙන්නෙ 1968 වර්ෂයේදීයි. එවක මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් මේ ග්‍රන්ථය තහනමට ලක්වනවා විතරක් නොවෙයි ටෙනිසන් පෙරේරා මහතාව හතරවැනි තට්ටුවට ගෙනගොස් සී. අයි. ඩී. ප්‍රශ්න කිරීමකටද ලක්කරන්න මේ නිර්මාණය සමත්වනවා.

කාර්මික සමාජ විප්ලවයක් පාදක කොටගෙන ලියවුන කතාවක් වුවත් ඇතැම් අය මෙහි “දැති රෝදෙන් උපන් බුදුන්” නාමය බුදුන් වහන්සේට සහ ආගමට කල අපහාසයක් ලෙස හුවාදක්වමින් මේ ග්‍රන්ථය තහනම් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම කෙටිකතා සංග්‍රහයේ පිටපත් සියල්ල රාජසන්තක කිරීමටත් ඉන් ලැබුණු ආදායම් සියල්ල රජයට ලබා ගැනීමටත් කටයුතු කර තිබෙනවා. මේ පොතේ තහනමත් සමග තම වෘත්තීය සහ ලේඛණ කලා ජීවිතයට එකල ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවුණි යැයි ටෙනිසන් පෙරේරා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

 

7. මේරි නම් වූමරියා කෙටිකතා සංග්‍රහය – මංජුල වෙඩිවර්ධන
Source - boondi.lk
Source – boondi.lk

2000 වර්ෂයේදී එළිදැක්වුණ මංජුල වෙඩිවර්ධනයන්ගේ මේරි නම් වූ මරියා කෙටිකතා ග්‍රන්ථයත් ඉතාම ආන්දෝලනාත්ම අයුරින් තහනමට ලක්වූ කෘතියක්. දැති රෝදෙන් උපන් බුදුන් රචනා කල ටෙනිසන් පෙරේරා මහතාට මෙන්ම රහස් පොලිස් අත් අඩංගුවට පත්ව හතරවැනි තට්ටුවේදී ප්‍රශ්න කිරීම් වලට ලක්වන්නට මංජුල වෙඩිවර්ධනට සිදු වෙනවා.

එකල ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම ග්‍රන්ථය තහනම් කිරීමටත් ඊට එරෙහිව විවිධ නීතිමය තීරණ ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. මේ තහනමට හේතුව වශයෙන් සඳහන් වන්නේ පොතේ පිටකවරයේ කොන්තයක් සහිත අඩනිරුවත් කාන්තා පින්තූරයක් තිබීමයි.

 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here