දෙන්නා අතරේ රණ්ඩුවක් ගියාට පස්සේ, දෙන්නත් එක්කම ආයෙමත් සමාදාන වෙන්නේ මෙහෙමයි.

0
32


ඔය දෙන්නා දෙමාල්ලෝ අතරේ රණ්ඩු බත ඉදෙනකල් විතරයි කියලා කියමනක් තියෙනවනේ. ඒක කොයි තරම් ඇත්ත වුනත් බොරු වුනත්, සම්බන්ධතාවයක ඉන්න දෙන්නෙක් අතර රණ්ඩුවක් සරුවලක් කොයි වෙලාවකවත් ඇතිවෙන්නේ නැහැයි කියන්න බෑ. සාමාන්‍යයෙන් අර පැණි බේරෙන ලව් එක තියෙන මුල් මාස වලදී වුනත්, මොකක් හරි හිත රිදීමකට, අත්වැරදීමකට, නොඑකඟතාවයකට දෙන්නත් එක්ක අනිවා මූණ එල්ල ගනී. හැබැයි පහු පහු වෙනකොට මිසයිල ගහනවා වගේ රණ්ඩුත් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඔය මොන විදියේ රණ්ඩුවක් ඇති වුනත්, දෙන්නා දෙමාල්ලෝ රණ්ඩුවෙන් පස්සේ ආයෙමත් සමාදාන වෙන සාස්තරේත් ඉගෙන ගෙන තිබීම අනිවාර්යයි. එහෙම නොවුණොත් වෙන්නේ දෙන්නගේ සම්බන්ධතාවය පළුදු වෙන එක. ඒ නිසා ආන්න ඒ සාස්තරේ කියලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. 

 

1. ටයිම් අවුට් එකක්

දාර වලියක් ගියපු සැණින් දෙන්නත් එක්ක ආයෙමත් කතා කරලා ප්‍රශ්නේ විසඳගන්නවා වගේ දෙයක් මළාට කරන්න බෑ. හේතුව මේකයි. වලියක් ඉවර වුණු ගමන් දෙන්නම බොහොම උද්වේගයෙන්, හැඟීම් වලින් ආකූල වෙලා ඉන්නේ. ඒ වගේ වෙලාවකදී අනෙක් පැත්තෙන් කියන අහිංසක වචනයකට වුනත් මේ පැත්ත ආයෙමත් ට්‍රිගර් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳම දේ තමයි වලියක් ගියපු ගමන් පොඩ්ඩක් තනියෙන් ඉන්න වෙලාවක් ගන්න එක. මේ කියන්නේ ගෙදරින් පිටමං වෙලා මාස ගණන් ඉන්න කියන එක නෙවෙයි. පැයක් දෙකක් හෝ පොඩ්ඩක් තනි වෙන්න. හිතට නිවෙන්න දෙන්න. මේ වෙලාවෙදී වුනත් වැරැද්ද කාගෙද, වැරැද්ද මොකද්ද වගේ දේවල් කල්පනා කරන්න යන්න එපා. ඒ වෙනුවට හිත රිලැක්ස් වෙන විදියේ වෙනත් දෙයක් කරන්න. මියුසික් අහනවා වගේ දෙයක් උදාහරණයකට. බැරිම නම් පොඩ්ඩක් නිදාගත්තත් කමක් නෑ. ඇහැරෙනකොට හිත පොඩ්ඩක් ෂේප් වෙලා තියෙයි.

 

2. සාමයට සූදානම්ව ඉන්න

මොන විදියේ ජාත්‍යන්තර රණ්ඩුවක් ගියත්, අපි දෙන්නා අපි දෙන්නාමනේ කියන මතයේ ඉන්න. ප්‍රශ්න ඇතිවෙනවා කොයි තරම් ආලයෙන් වෙලිලා ඉන්න කපල් එකක් අතරේදී වුනත්. හැබැයි රණ්ඩුවෙන් පස්සේ සමාදානයට ලෑස්ති වෙලා ඉන්නවා නම්, ඇත්තටම රණ්ඩුවට හේතු වුණු ප්‍රශ්නය ක්‍රමානුකූලව විසඳාගන්න පුළුවන්. මෙතනදී තමන්ගේ ඊගෝ එක පැත්තකින් තියලා හිතන්න පුළුවන් නම් ලොකු දෙයක්. වරද කාගෙ වුනත්, “රණ්ඩු වුනාට සොරි” කියලා බය නැතුව කියන්න පුළුවන් කම එක පාර්ශවයකට හෝ දෙකටම තියෙනවා නම් තත්වය තවත් ඉක්මනින් සමනය කරගන්න පුළුවන්. එහෙම සොරි කියන එකෙන් කියන්නේ ප්‍රශ්නය ඇතිවුණු වැරැද්ද භාරගන්නවා කියන එක නෙවෙයි. රණ්ඩු වුනාට තමන්ගේ පැත්තෙන් කණගාටුව ප්‍රකාශ කරනවා කියන එක කියලා අමතක කරන්නත් එපා.

 

3. ඒ පැත්තේ කරුණු අහලා බලන්න

ඇයි රණ්ඩුව ඇති වුණේ, ප්‍රශ්නය මොකද්ද කියන එකට අනිවා අනික් පැත්තේ කෙනාට හොඳ හේතු කියන්න ඇති. ආන්න ඒවාට සාවධානව සවන් දෙන්න. මෙතනදී අනෙකා වැරදි තැන් නිවැරදි කරන්න උත්සාහ නොගෙන, හිතේ තියෙන දේවල් හැම එකක්ම කියන්න ඉඩ දෙන එක ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඒ පැත්තෙන් කියන දේවල් මැද්දේ අපි දේවල් කියන්න උත්සාහ කළොත්, ප්‍රශ්නය විසඳගන්න එක පැත්තක තියලා තව වලියක් සෙට් වෙන එක නවත්තන්න බෑ. අන්න ඒ නිසා ඉතාම හොඳින් සවන් දෙන්න. ඒ විතරක් නෙවෙයි, සවන් දීලා, එයා කියන දේවල් එයාට ඇහෙන්න රිපීට් කරන්න. ඒ වගේම එයාට හර්ට් වුණු හැඟීම් පිළිගන්න. උදාහරණයක් විදියට “ඔයා කියන්නේ මම ඒ යාලුවා එක්ක ඔයාට නොකිය එළියට ගියපු එකට ඔයාගේ හිත ගොඩක් රිදුනා කියලා නේද? මට ඒ හර්ට් එක තේරෙනවා” කියලා කියන්න පුළුවන්. 

 

ඒ වගේම මෙතනදී ඉතාම ඉවසිල්ලෙන් කටයුතු කරන්න. ඒ පැත්තෙන් මළ පනින කතාවක් කියවුනත්, මේ මොහොතට ඒක අමතක කරන්න.

 

4. චෝදනා නැතුව මේ පැත්තේ කරුණු කියන්න

හරි. දැන් ඒ පැත්තේ කතන්දරේ ඇහුවනේ. දැන් තමන්ගේ පැත්තේ කතන්දරේ කියන්න. හැබැයි එකක්. ගොඩක් දෙනෙක්ට මේ පොයින්ට් එක බෑ. හේතුව තමයි, කරුණු කියන්න ගියහම ගොඩක් දෙනෙක් කරන්නේ කරුණු කියනවා වෙනුවට චෝදනා එල්ල කිරීම නිසා. එතකොට ආයෙමත් යන්නේ මුලට. ඒ කියන්නේ වලියට. අන්න ඒ නිසා, චෝදනා එල්ල නොකර, තමන්ගේ පැත්තේ කතාව, තමන්ට තරහ ගියේ ඇයි, ඒ වෙලාවේ තිබුණු හැඟීම් ගැන සරලව කියන්න. මේ කතාව හෘදයාංගමව කරන්න පුළුවන් නම්, ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳෙන්නත් පුළුවන්. 

 

5. පොඩ්ඩක් තත්ත්වය සමනය වුනාට පස්සේ ආයෙමත් ප්‍රශ්නයට යන්න

හරි. දැන් දෙන්නත් එක්ක දෙන්නගේම පැත්තේ දේවල් කියලා, රණ්ඩු වුනාට කණගාටුව ප්‍රකාශ කරලා යාලු වෙලානේ ඉන්නේ. තත්ත්වය සමනය වෙලා. ඒ කියන්නේ වලියට හේතුව අත ඇරලා දාලා ඉස්සරහට යන්න කියන එකද? නෑ. වලියක් අතෑරලා දැම්මත්, වලියකට හේතුභූත වුණු මූලික ප්‍රශ්නය අතෑරලා දාන්න බෑ. ඒක සම්බන්ධතාවයකට හොඳම නෑ. කරන්න ඕන ප්‍රශ්නය විසඳලා ඉස්සරහට යන එක. ඒකට ට්‍රයි කරන්න ඕන, අර හැඟීම් වලින් ආකූල වෙන්නේ නැතුව, සාධාරණව ප්‍රශ්නය දිහා බලන්න. අන්න එතකොට ගොඩක් වෙලාවට තේරෙන්න ගනී ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ ඇයි, කා අතේද වැරදි තියෙන්නේ, මොනවද වැරදි කියලා.

 

6. දෙන්නත් එක්ක ප්‍රායෝගික විසඳුමක් හොයන්න

දැන් එහෙම ප්‍රශ්නය සහ ප්‍රශ්නය ඇතිවුණේ කොහොමද කියන එක අඳුනාගත්තට පස්සේ පුළුවන් දෙන්නත් එක්කම එකතු වෙලා ඒකට උත්තරයක් හොයාගන්න. විශේෂයෙන්ම මේ හොයන්නේ “විසඳුමක්” කියන එක දෙන්නත් එක්කම මතක තියාගන්න ඕන. ඒ කියන්නේ කෝන්තර පිරිමැහීමක් හෝ පංගුපේරු කිරීමක් වෙන්න බෑ. ඒ වගේම තමන්ගේ වැරැද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න තමන්ට හැකියාව තියෙන්න ඕන. ඒ වගේම අනික් කෙනාගේ වැරැද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න අවංක හිතින් උදවු කරන්නත් හැකියාව තියෙන්න ඕන. ඒ වගේම දෙන්නත් එක්ක හොයාගන්න විසඳුම ප්‍රායෝගික වෙන්නත් ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, ඔයා ආශ්‍රය කරන ගෑණු යාලුවෙක්ට වයිෆ් අකමැති නිසා වලියක් ඇදෙනවා. හැබැයි අකමැත්තට සාධාරණ හේතුවකුත් නෑ. දැන් එතකොට දෙන්නටම ප්‍රායෝගික තැනකට එන්න පුළුවන්, ඒ යාලුවාව අන්ධව ආශ්‍රය නොකර සිහිබුද්ධියෙන් සහ අතේ දුරින් ආශ්‍රය කරමු කියලා. ඕන නම් ගෙදරට ගෙන්වන්නේ, වයිෆ් එක්ක මුහු කරන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි වයිෆ්ට තියෙන්නේ ඊර්ෂියාවක් නම්, ඒක දෙන්නත් එක්ක ෆික්ස් කරගන්න ඕන.

 

7. දෙන්නට බැරි නම් තුන්වෙනි පාර්ශවයක උදවු ගන්න

සමහර ප්‍රශ්න තියෙනවා, දෙන්නා දෙමාල්ලන්ට විසඳගන්න බැරි. ආයෙ කොයි තරම් කූල් ඩවුන් වෙලා, කොයි තරම් සිහිබුද්ධියෙන් කතා කළත් සමහර ප්‍රශ්න විසඳගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක අපිට තුන්වෙනි පාර්ශවයක උදවු ගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ තුන්වෙනි පාර්ශවය කියන්නේ ෆේස්බුක් එකෙන් හම්බුණු නංකියා වත්, ස්ටාෆ් වෑන් එකේ එහාපැත්තේ ඉන්න අයියාවත් නෙවෙයි කියන එකත් සිහියේ තියාගන්න. මෙතනදී තුන්වෙනි පාර්ශවය විදියට හරියටම හරියන්නේ වෘත්තිමය උපදේශකවරයෙක්. එච්චර දුරට යන්න කලින්, තමන් දෙන්නාම ගැන හොඳටම දන්න, විනිශ්චය කරන්නේ නැති, සිහිබුද්ධියෙන් සහ ජීවිත ඥාණයෙන් යුක්ත තුන්වෙනියෙක්ගේ උපදෙස් ගත්තත් කමක් නෑ. ඒ තමන්ගේ දෙමාපියන් වෙන්න පුළුවන්. හොඳම යාලුවෙක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ප්‍රශ්නේ රටවටේ කිය කියා යන කෙනෙක් නොවෙන්නත් ඕන. 

 

 

The post දෙන්නා අතරේ රණ්ඩුවක් ගියාට පස්සේ, දෙන්නත් එක්කම ආයෙමත් සමාදාන වෙන්නේ මෙහෙමයි. appeared first on Lifie.LK.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here