නිවුන්නු හත් දෙනාගේ පන්ති කාමරේට ගියෙමු

0
26


කෑගල්ල ශාන්ත මරියා විදුහලේ පළමු ශ්‍රේණියට තෝරාගත් සිසුන්ට මුලින්ම පන්ති ඇර​ඹුණේ ඉකුත් දාහත් වැනිදාය. හා හා පුරා කියා පන්තියේ වාඩි වී අකුරු කරන්නට දරුවෝ එකසිය හතළිහක් පමණ එදා ඉස්කෝලෙට පැමිණ සිටියෝය. ඒ අතරේ සිටි සිසුන් හත් දෙනා මුළු ඉස්කෝලෙම අවධානය දිනා ගත්තේය. ඉස්කෝලේ පමණක් නොව දැන් මුළු රටේම අවධානය දිනා ගෙන සිටින මේ දරුවන් හත් දෙනා නිවුන්නුය. හත් දෙනා අයත් වන්නේ පවුල් තුනකටය. පවුල් දෙකක සිටින්නේ නිවුන් දරුවන් දෙදෙනා බැගිනි. අනෙක් පවුලේ තුන් නිවුන්නුය. පළමු වසරට ඇතුළත් වීමට නිවුන්නු හත් දෙනෙක් ශාන්ත මරියාවට ආවේ ඒ ඉස්කෝලේ වසර 154ක දිගු ඉතිහාසයේ මුල් වරටය. ශාන්ත මරියාවේ පමණක් නොව ලංකාවේ ඉස්කෝලේක මෙවැනි දෙයක් වූ මුල්වතාවද මෙය වන්නේය.

මේ කාලේ ජනප්‍රිය ඉස්කෝලෙක පළමු වසරට දරුවකු ඇතුළත් කර ගන්නවා කියන්නේ මහා යුද්ධයකි. අන්තිමේදී බොහෝ දෙමවුපියෝ ඒ යුද්ධයෙන් පරදින්නෝය. එක දරුවෙක් ජනප්‍රිය පාසලකට ඇතුළු කර ගැනීමට නොහැකි වූ කාලයක නිවුන්නුන් ජනප්‍රිය පාසලක පළමු ශ්‍රේණියකට දා ගැනීම වූ කලී හිතන්නටත් බැරි සිද්ධියකි. එහෙත් කෑගල්ල ශාන්ත මරියා විදුහලට මේ නිවුන්නු ඇතුළත් කර ගැනීමට ඔවුන්ගේ දෙමාපියන්ට හැකි වූයේ ඉස්කෝලේ කිට්ටුවේ පදිංචිකරුවන් වීම හා ආගමික පදනම නිසාය.

“නිවුන් දරුවන් හත් දෙනා අපේ ඉස්කෝලෙට ඇතුළත් වන බව තේරීම් කමිටු හරහා සුදුසුකම් පරීක්ෂා කරද්දී මා දැන ගත්තා, නමුත් නිවුන් දරුවන්ගේ දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට අමතරව තවත් නිවුන්නු ඇතුළත් වෙනවා කියලා දැන ගත්තේ පාසල වෙත දරුවන් සමග පැමිණි පසුගිය 15 වැනිදාය. එදා මම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් කැඳවා එම දරුවන් වෙන් නොකොට පවුල් තුනේ නිවුන් දරුවන් පන්ති කාමර තුනකට යොමු කරන්න කියලා උපදෙස් දුන්නා. මවුකුසින් බිහි වූ දා සිට එකට සිට එකම ක්‍රියාකාරකම්වල නිරත වෙමින් එකවිට බොහෝ ක්‍රියාකාරකම්වල නිරත වීම නිවුන් දරුවන් විසින් කරන නිසා තමයි එම සහෝදර කණ්ඩායම්වල නිවුන් දරුවන් පන්ති කාමර තුනකට එලෙසින්ම යොමු කළේ.” කෑගල්ල ශාන්ත මරියා විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.එම්. සමන් ඉන්ද්‍රජිත් කීවේය. මේ අපූරු දරුවන් හත් දෙනා ඉස්කෝලේ අකුරු කරන හැටි බලන්නට ඉකුත් 17 වැනිදා අපි ඔවුන් සිටින පන්ති කාමරය ළඟට ගියෙමු. පාට බෙදා හදා ගනිමින් එකම මේසයේ වාඩි වී ගුරුතුමිය විසින් චිත්‍ර පොතේ ඇඳ රවුම පිට පනින්නේ නැතිව ක්‍රමයෙන් පාට කරන අන්දම එහි ගොස් ටික වේලාවක් පන්ති කාමර අසල බලා සිටි අපට දැක ගැනීමට හැකි විය.

එම පන්ති කාමර භාර ආචාර්ය මණ්ඩලයෙන් අපි ප්‍රශ්නයක් ඇසුවෙමු. කොහොමද මේ දරුවන් හඳුනා ගන්නේ. ‘‘මෙම දරුවන්ගේ කෙටි නම යොදා කමිසයේ සවි කර ඇති ටැග් එක කියවලා නමින් දරුවන් හඳුනා ගන්නවා. නමුත් දරුවන් එක වර හඳුනා ගැනීම පහසුවන්නේද නෑ. සමහර පුතාලාගේ ශාරීරික වෙනස්කම්වලින් හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත් මේක අපූර්ව අත්දැකීමක්’’ ගුරවරියෝ කියන්නෝය. මේ කතාව කියූ විට කලකට ඉහතදී අපේ හිතවත් ගුරුවරියන් කී කතාවක් සිහි විය. දිනක් ඇය ඉස්කෝලේදී තම පන්තියේ සිටින දරුවෙක් කළ දඟකාර වැඩක් දුටුවාය. හදිසියේ වෙන වැඩකට යමින් සිටියදී සිසුවාගේ දඟ වැ​ඩේ දුටු නිසා ඇය ඔහුට දඬුවම් නොකර ගියාය. යළි පන්තියට පැමිණි ඇය වේවැල අතට ගෙන සිසුවාට දෙක තුනක් ගහද්දි ඔහු අඬමින් මෙසේ කීවේය. අනේ මිස් ගහන්න එපා. මම දඟ කළේ නෑ. මල්ලි තමයි පන්තියෙන් මිස් නැති වෙලේ එළියට ගියේ. බැලින්නම් පස්සේ ගුටි කෑවේ මල්ලි වෙනුවට අයියාය. ඔවුන් දෙන්නා නිවුන්නුය.

ඒ කතා කෙසේ වෙතත් නිවුන්නු උදෙන්ම ඉස්කෝලේ යවනවා කියන්නේ මහා යුද්ධයකි. එක දරුවකුට නොව දෙතුන් දෙනෙක්ට එකවර ඇඳුම් ඇන්දිය යුතුය. බත් කැවිය යුතුය. පයින් යන්න බෑ කීවොත් වඩාගෙන යා යුතුය. ඒ මොන කතා කීවත් දරුවන් කියන්නේ අම්මල තාත්තලාගේ වටිනාම වස්තුවය.

කෑගල්ලේ කළුගල්ලේ කේ.එම්.ඩී. සාලිකා සම්මානනි. කොස්ගල්ලන (36) ඩබ්ලිව්. තිවංක මහේෂ් මුණසිංහ (38) ට නම් එක වස්තුවක් නොව වස්තු තුනක් සිටින්නේය. ශාන්ත මරියාවට යන නිවුන්නු තුන් දෙනාගේ දෙමාපියෝ ඔවුහුය. ඔවුන්ගේ ගෙදර සිට ඉස්කෝලෙට ඇත්තේ මීටර් හාරසියයකි.
සාලිකා කෑගල්ල මහ රෝහලේ රසායනාගාර තාක්ෂණික නිලධාරිනියකි. ගැබිනියක වූ සාලිකා වෛද්‍ය පරීක්ෂණ කරද්දී කාසල් රෝහලේ විශේෂඥ වෛද්‍ය ගාමිණී පෙරේරා කියා ඇත්තේ සාලිකාට දරුවන් තිදෙනෙක් ලැබීමට සිටින බවය. එදා ඉඳන් ඇය පරිස්සම් වූවාය.

නිරෝගීමත් දරුවන් තිදෙනෙක් 2015 දෙසැම්බර් 16 වැනිදා මෙලොව එළිය දුටුවේ කොළඹ කාසල් මහ රෝහලේදීය.

මේ තිදෙනාම පිරිමි දරුවන් වන නිසා ඔවුන්ගේ සතුට තවත් වැඩි විය.

උපත ලැබූ සිඟිත්තන්ගේ වැඩිමහල් පුතණුවන් ඩබ්ලිව්. නෙතුන් මෙත්දිනු මුණසිංහ, දෙවැනි පුතණුවන් ඩබ්ලිව්. විදුන් වින්දිනු මුණසිංහ, බාලයා ඩබ්ලිව්. සිතුන් නෙත්දිනු මුණසිංහ ලෙසින් ලස්සන නම් තුනක්ද පියා තැබුවේය. දරුවන්ගේ කරදඬු උස් මහත් වී ඔවුන් මොන්ටිසෝරි යන වයස එළඹුණේය. ඇතැම් දවසක එක දරුවෙක් තමා වඩාගෙන යන ලෙස මාපියන්ට කියන්නේය. එවිට ඇය කරන්නේ වඩා ගන්නා කියූ දරුවාගේ අත් දෙක අනෙක් දරුවන් දෙන්නාට අල්ලා ගන්නට කියා ඔවුන් තුන් දෙනාටම වෙනසක් නොවන ලෙස කළමනාකරණය කර ගැනීමය. මොන්ටිසෝරි යන කාලයේ සිට මේ දක්වා දරුවන්ගේ වැඩ කර ගැනීමට සාලිකාට ඇගේ දෙමවුපියන්ගෙන් ලැබෙන්නේ ලොකු සහායකි. උදේ ඉස්කෝලෙ යන්න දරුවන්ට ඇඳුම් මැදලා දුන්නාම ඔවුන් ඇඳ ගන්නවා. තුන් දෙනාම උදේට කන්නේ බත්. ඒ නිසා එකට තියලා තුන්දෙනාට කවනවා. කන්න අකැමැති නම් කෑම පෙට්ටියක දමලා දෙනවා. දුන්නාම ඒ තුන්දෙනා කාර් ඒකේ යන අතරේ කනවා. ඇය කියන්නීය.

දරුවන් තුන්දෙනා හරි සමගියි. මෙයාලාගේ අයියා තමයි නෙතුන්. එයා තමයි අනිත් දෙන්නා බලා ගන්නේ. කෑමට කලින් නෙතුන් මල්ලිලාගේ කෝප්ප සෝදලා වතුර ගෙනත් මේසය උඩ තියනවා. තුන්දෙනා පුංචි රණ්ඩු වෙනවා. නමුත් කවදාවත් කවුරුවත් පාවා දෙන්නේ නැහැ. නිදියන්නේ කෑම කන්නේ නාන්නේ එකට. මෙයාලගෙන් එක් කෙනකුට ලෙඩක් හැදුණොත් අනිත් දෙන්නා සංවේදී වෙනවා. ඒ වාගේම අපිට ලෙඩක් හැදුණොත් එයාලා දුක් වෙනවා. දෙමාපියන්ට වාගේම අපේ අම්මලා තාත්තාලටත් ගොඩක් ආදරෙයි. තුන් දෙනාම පෙරපාසල් රඹුක්කන ‘රොස් බයිඩ්’ එකට යනකොටත් ඒ වස​​රේ නිවුන් දරුවන්ට හිටියේ මේ තුන් දෙනා විතරයි.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here