පුංචි දරුවන්ගේ දන්ත සෞඛ්‍යය ගැන දැනුවත් වෙන්න

0
35


පුංචි දරුවන්ගේ සෞඛ්‍ය කියන්නේ කොයි දෙමවුපියොත් ඉහළින්ම උනන්දු වෙන කාරණාවක්නේ. හැබැයි සෞඛ්‍ය කිව්වහම එකපාරටම මතක් නොවෙන අපි හැමෝටම අමතක වෙන කාරණාවක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඒ තමයි පොඩි දරුවන්ගේ දන්ත සෞඛ්‍ය එහෙමත් නැත්නම් දත් සම්බන්ධ සෞඛ්‍යමය කාරණා. හැබැයි කලිනුත් කිව්ව වගේ නොදැනුවත්කම එහෙමත් නැත්නම් නොසැලකිල්ල නිසා හුඟක් දෙමව්පියෝ මේ පුංචි දරුවන්ගේ දත් ගැන සැලකිලිමත් වෙනවා හරිම අඩුයි. ඒත් ඒක හරිම වැරදි පුරුද්දක්. දත් කියන්නෙත් ශරීරයේ අනිත් දේවල් වලට දෙන සෞඛ්‍ය අවධානයම ලබා දෙන්න ඕන දෙයක්. ලෝකයේ ළමා ජනගහණයෙන් 85% වයස අවුරුදු පහ වෙද්දී දත් සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙනවා. මොකද හුඟක් දෙමව්පියෝ හිතන්නේ කිරි දත් හැලිලා යන නිසා ඒ ගැන ලොකු අවධානයක් දෙන්න ඕන නැහැ කියලයි. ඒක වැරදි මතයක්. එක වයසකදී කිරිදත් හැලිලා අයින් වුණත් ඒ කිරිදත්වල තියෙන ගැටළු ඊට යටින් තියෙන ස්ථිර දත් වලට ගැටළු ඇති කරන්න පුළුවන්. අන්න ඒ නිසයි අපි හිතුවේ පුංචි බබාලාගේ දන්ත සෞඛ්‍යය ගැන ටිකක් විස්තර කතා කරන්න.

 

1. කිරි දත්

කිරිදත් කියලා අපි හඳුන්වන්නේ ස්ථිර දත් මතුවෙන්න කලින් ඉතා කුඩා කාලයේ ඉඳලා වයස අවුරුදු හතක් වගේ වෙනකන් පුංචි දරුවන්ගේ මුඛයේ දකින්න තියෙන දත්. සාමාන්‍යයෙන් හුඟක් දරුවන්ගේ කිරි දත් මතු වීම මාස හයෙන් වගේ පස්සේ ආරම්භ වෙන්න පුළුවන්. ඒ කියන්නේ කියන්නෙ මාස හයක් සම්පූර්ණයෙන්ම මව්කිරි බීලා ඝන ආහාර ආරම්භ කළාට පස්සේ තමයි කිරිදත් එන්න පටන් ගන්නේ. මුලින්ම මතු වෙන්නේ ඉදිරිපස තියෙන දත් හතර. ඒ කියන්නෙ කෘන්තක දත්. හැබැයි සමහර බබාලගෙ වයස මාස 12ක් වෙනකනුත් කිරි දත් මතු නොවෙන්න පුළුවන්. අවුරුද්ද සම්පූර්ණ වෙනකොටත් එක දතක් වත් මතුවෙලා නැතිනම් තමයි  දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ගන්න කියල කියන්නේ. මේ ඉස්සෙල්ලම මතුවෙන්නේ කිරිදත් උනාට සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවියෙක් උපත ලබනකොට ඔහුගේ මුඛයේ විදුරුමස් වලට ඇතුළෙන් මේ කිරිදත් 20 වගේම ඊට යටින් ස්ථිර දත් තිස් දෙකක් හැදිලා තියෙන්නේ. ඒව දත් වගේ ඝනකම නැති සැහැල්ලු ජෙලි බෝල වගේ තත්ත්වයෙන් තමයි විදුරුමස් ඇතුළේ තැන්පත් වෙලා තියෙන්නේ. ඉතිං අන්න ඒකයි කියන්නේ පිටතට මතු වුණු කිරි දත් වලට ඇතිවෙන හානි නිසා ඊට යටින් තියන පසුකාලීනව මතු වෙන්න තියෙන ස්ථීර දත් වලටත් හානි ඇති වෙන්න පුළුවන් කියලා.

 

2. දත් සම්බන්ධ හොඳ පුරුදු

 

දත් සම්බන්ධ හොඳ පුරුදු කියල කියන්නේ බබා ඉපදිලා කිරි කිරි දත් මතු වෙලා කාලයක් ගිහිල්ලා දත් ගැන අවධානය යොමු කරන එක නම් නෙමෙයි. දැන් වෛද්‍යවරු කියන විදිහට බබාගෙ දත් ගැන අවධානය යොමු කරන්න ඕනේ බබා ලැබෙන්න ඉන්න කාලේ ඉඳලමයි. මොකද අම්මගේ දත්වල ඇති වෙලා තියන ගැටළු බබාගෙ දන්ත සෞඛ්‍යයට බලපාන්න පුළුවන් කියලා දැන් අලුත්ම සොයාගැනීම් වලින් වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. ඒක නිසයි ගර්භණී කාලයේදී අම්මවත් දන්ත සායන වලට යොමු කරල අම්මගේ දන්ත සෞඛ්‍යය පරීක්ෂා කරවන්නේ. කොහොමහරි දරුවා ලැබුණට පස්සේ බබාගේ දත් පරිස්සම් කරන්න කිරි දත් මතු වෙනකම්ම හිටියොත් පරක්කු වැඩියි. ඉපදුණ අලුත ඉඳලම බබාගේ කට ඇතුළේ කිරි නොරැඳෙන්න තෙත නැපි එකකින් සියුම්ව විදුරුමස් පිහදාන්න පුරුදු වෙන්න. මොකද කිරි දත් මතු වුණු මුල් කාලේ ඉඳලම දත් නරක් වෙන්න තියෙන අවස්ථාව වැඩියි . ඒ වගේම තමයි අධික පැණි රස අම්ල වර්ග වගේ දේවල් වලින් දත් වලට ඇති වෙන්න තියෙන හානිය ඉහළයි බබා පුංචි කාලේ ඉඳලා මේ වගේ දේවල් වලින් ඈත් කරන්න පුරුදු කරන්න ඕනේ. පැණි රස දෙයක් කෑමට ගත්ත ගමන් පැණි රස දත්වල නොරැඳෙන්න දත් මදින්න හුරු කරන්න ඕනේ වගේම අධික ආම්ලික ආහාරයක් ගත්ත ගමන් දත් මදින එක දත්වලට හොඳ නැහැ කියලත් බබාට උගන්නන්න ඕනේ. ඒකෙන් දත්වලට හානි වෙන්න පුළුවන්.

 

3. දත් මැදීම

දත් මැදීම කියලා කියන්නේ පොඩි ළමයි සම්බන්ධයෙන් ටිකක් අමාරු කාර්යභාරයක්. කිරි දත් මතු වුණු අලුත පුංචි ළමයෙක් ගේ නම් වදෙන් පොරෙන් දත් ටික මද්දගන්න පුළුවන් උනාට යන්තම් තේරෙන අවුරුද්දක් වගේ වයසට ආවට පස්සෙ දත් මද්දනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒත් අමාරුයි කියලා නොකර බැරි වැඩක්. දත් මදින්න ආරම්භ කරන්න ඕනේ බබාගේ මුල්ම කිරි දත යන්තම් මතු වුණු දවසේ ඉඳලමයි.

 

4. දන්තාලේප

ඔන්න තවත් වැදගත් කාරණාවක්. කිරි දත් මතු වුණු මුල්ම දවසේ ඉඳලම දත් මදින්න පටන් ගන්න කියල කිව්වට ඒ සඳහා පාවිච්චි කරන දන්තාලේපය ගැනනම් විශේෂයෙන්ම හිතල බලන්න ඕනේ. අපි මුලදී කියපු විදිහට දත් එන්න කලින් ඉඳලම පොඩි නැපියක් තෙමලා විදුරුමස් පිහදාන වෙලාවට නම් කිසිම දන්තාලේපයක් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි කිරි දත් මතු වුණාට පස්සේ දත් හොඳින් පිරිසිදු වෙන්නත්, මේ දත් මැදීම කියන වැඩේට බබාව හුරු වෙන්නත් දන්තාලේපයක් පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒත් ඒ වැඩිහිටි අපි පාවිච්චි කරන ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් නම් නෙමෙයි. ෆ්ලෝරයිඩ් කියලා කියන්නේ දත් වලට ඉතාමත් හිතකර දෙයක් උනාට අවුරුදු දෙකට අඩු පුංචි ළමයින්ට භාවිතය වෛද්‍යවරු අනුමත කරන්නේ නැහැ. මොකද එයාලට තනියම කෙළ ගහලා කටේ තියෙන දත්බෙහෙත් එළියට දාන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා එහෙම තනියම කට සෝදලා ඉවත් කරන්න තේරෙන වයස වෙනකන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර වෙනකන් පුංචි බබාලට හදපු දන්තාලේප වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. වයස අවුරුදු දෙකට අඩු පුංචි කාලෙදි දත් බුරුසුවට පුංචි සහල් ඇටයක තරම් දන්තාලේප ප්‍රමාණයකුත් අවුරුදු දෙකෙන් පස්සෙ කඩල ඇටයක තරම් දන්තාලේප ප්‍රමාණයකුත් භාවිතා කරන්න පුළුවන්. කොයි විදියකින් හරි දත් හොඳින් පිරිසිදු වෙන්න මදින එක තමයි වැදගත්. 

 

5. දත් මදින ක්‍රමය

දත් මදින ක්‍රමයත් හරියට ඉගෙන ගන්න ඕනේ. දත් බුරුසුව කට ඇතුළට දාලා ඔහේ එහෙට මෙහෙට කරකවනවා කියන්නේ හරියට දත් මදිනවා නෙමෙයි. දත් වල ඇතුළත හොඳින් පිරිසිදු වෙන්නනම් බුරුසුව අල්ලන්න ඕන කෝණය, බුරුසුව හසුරවන්න ඕන විදිහ වගේ හුඟක් කාරණා තියෙනවා. දන්ත වෛද්‍යවරයෙක් මුණ ගැහුනොතින් මේ නිවැරදි දත් මැදීමේ ක්‍රමය හරියටම කියලා දෙනවා. මේ වීඩියෝ එක බලලත් ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. 

https://www.youtube.com/watch?v=BapR9J86ZZw.

 

පුංචි කාලේ ඉඳලම මේ විදිහට හරියට දත් මදින හැටි දරුවන්ට උගන්වන එක එයාලගේ දන්ත සෞඛ්‍යයට මුළු ජීවිත කාලෙටම හරිම වැදගත්.

 

6. පැණිරස කෑම

වයස අවුරුදු 1 ට අඩු දරුවන්ට සීනි අඩංගු කෑම, පැණි රස කෑම දෙන්න එපා කියලා කියන්න එක ප්‍රධාන කාරණාවක් තමයි මේ දන්ත සෞඛ්‍ය. දත්වලට හානි කරන ප්‍රධානම දෙයක් තමයි පැණි රස කියලා කියන්නේ. බබාලා හරි ඉක්මනට පැණි රසට ඇබ්බැහි වෙන හින්ද තමයි එයාලට පැණිරස හඳුන්වා දෙන්න පුළුවන් තරම් පරක්කු කරන්න කියල කියන්නෙ. හැබැයි අවුරුද්දෙන් පස්සේ හුඟක්ම පැණිරස සීමා කරන එක ටිකක් අමාරු දෙයක්. මොකද චොකලට්, ටොෆි වගේ දකින දකින පැණිරස ජාති ඉල්ලන්න බබාට පුළුවන්නේ. ඒ වගේ රහ දැනගත්තහම නොදී බේර ගන්න හරිම අමාරුයි. හැබැයි පුළුවන් තරම් සීමා කරන්න වගේම පැණි රස දෙයක් ආහාරයට ගත්තට පස්සේ දත්වල ඒ පැණි රස නොරැඳෙන්න දත් මදින්නත් දරුවෝ පුංචි කාලේ ඉඳලා පුරුදු කරවන්න. පැණි රස කාල දත් නරක් වුණු පුංචි දරුවන්ගේ පිංතූර අන්තර්ජාලයෙන් අරගෙන පෙන්නලා පොඩ්ඩක් බය කරන්න පුළුවන් මේ වැඩේට.

 

7. දන්ත පරීක්ෂණ

පුංචි බබාගේ දත්වල සෞඛ්‍ය කොහොමද කියලා පරීක්ෂා කර ගන්න දන්ත වෛද්‍යවරයෙක් හමුවට මුලින්ම එක්කං යන්න සුදුසුයි කියල අනුමත කරන්නේ වයස අවුරුදු එකක් වගේ කාලෙදි. එහෙමත් නැත්නම් මුල්ම කිරිදත මතු වෙලා මාස හයකින් වගේ කාලෙදි. මේ මුල්ම වෛද්‍ය හමුවේ දී බබාගේ දත්, විදුරුමස්, හකු වගේම මුඛය ආශ්‍රිත සියලුම දේවල් පරීක්ෂා කරල දන්ත සෞඛ්‍ය ගැන උපදෙස් දීම වෛද්‍යවරයා විසින් සිදු කරනවා. 

 

ඒ වගේම වැඩිහිටි අපි වගේම තමයි පුංචි දරුවොත් හැම මාස හයකට වතාවක්වත් අඩුම තරමේ දන්ත වෛද්‍යවරයෙක් මුණ ගැහිලා දත්වල සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගන්න ඕනේ. ඒ කියන්නෙ දෙමව්පියො හැම මාස හයකට සැරයක්ම බබාව dentist කෙනෙක්ට පෙන්නන්න ඕන. දත්වල වර්ධනයේ තියෙන ගැටළු වගේම වගේම දත් නරක් වෙන්න තියෙන අවදානම් ගැනත් මේ වෛද්‍ය හමුවීම් වලදී කලින් හඳුනාගන්න පුළුවන්. ඊට පස්සේ ඒවට අවශ්‍ය ප්‍රතිකාර කලින්ම සිදුකරලා දත් පරිස්සම් කරගන්න පුළුවන්.

 

 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here