Thursday, October 29, 2020
Home බණ කතා පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

0
54

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමති නොවනු ඇත. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයාව හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී (අස්සුතවා පුථුජ්ජනෝ) අශ්‍රැතවත් පෘථග්ජනයා යන පද යුගලය ම භාවිත කොට තිබේ. අශ්‍රැතවත් යනු සද්ධර්ම ශ්‍රවණය තුළින් උපදවාගත යුතු දේ උපදවා නොගත් තැනැත්තා යන්නයි. මේ අශ්‍රැතවත් පෘථග්ජනයාගේ මූලික ලක්ෂණ පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අයුරින් වදාරණ ලද්දේ ය. එනම් අශ්‍රැතවත් පෘථග්ජනයා වනාහී,

  1. අරියානං අදස්සාවී – සැබෑ ආර්ය පුද්ගලයන් නොහඳුනයි.
  2. අරියධම්මස්ස අකෝවිදෝ – ආර්ය ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
  3. අරියධම්මේ අවිනීතෝ – ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙකි.
  4. සප්පුරිසානං අදස්සාවී – ඒ වගේ ම සැබෑ සත්පුරුෂයන් නොහඳුනයි.
  5. සප්පුරිසධම්මස්ස අකෝවිදෝ – සත්පුරුෂ ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
  6. සප්පුරිසධම්මේ අවිනීතෝ – සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු කෙනෙකි.

මේ අනුව අශ්‍රැතවත් පෘථග්නයා තුළ ඉහත කී ලක්ෂණ හය නිරතුරුව විද්‍යමානව පවතී. මෙකී ලක්ෂයන් තිබීම හේතුවෙන් ම ඔහු අනේකවිධ මතිමතාන්තරයන්ට ද දෘෂ්ටි සංකල්පයන්ට ද පුද්ගලයන්ට ද අන්ධානුකරණයෙන් ප්‍රතිබද්ධව වාසය කරයි. ඒ පිළිබඳව සංයුත්ත නිකායෙහි අත්තදීප සූත්‍රයෙහි විස්තර වන්නේ මේ අයුරිනි.

“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය ආත්මයක් වශයෙන් මුළාවෙන් දකියි. ආත්මය රූපයෙන් හැදුනු දෙයක් යනුවෙන් මුළාවෙන් දකියි. රූපය තිබෙන්නේ ආත්මය තුළ ය යනුවෙන් මුළාවෙන් දකියි. ආත්මය තිබෙන්නේ රූපය තුළ ය යනුවෙන් මුළාවෙන් දකියි.”

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අශ්‍රැතවත් පෘථග්නයා ආත්මීය හැඟීම කේන්ද්‍ර කරගත් තැනැත්තෙක් බවයි. ඔහුට ආත්මයක් අවශ්‍ය ය. එමෙන් ම ආත්මයකට අයත් දෙයක් අවශ්‍ය ය. එවිට ඔහු නොදැනීම සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය ආත්ම වශයෙන් ගනියි. එමෙන් ම වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයත් ආත්ම වශයෙන් ගනියි. මෙසේ ආත්ම වශයෙන් ගැනීම නිසා සිය කය පිළිබඳව මෙන් ම තමා විඳින සැප දුක් පිළිබඳව ද තමා දන්නා හඳුනන දේ පිළිබඳව ද තමන් කරන්නා වූ ක්‍රියාකාරකම් පිළිබඳව ද තමාගේ සිත පිළිබඳව ද මහත් වූ මුළාවකට පත්වේ. මෙබඳු තැනැත්තා දැඩි ලෙස බැඳී සිටින්නේ ඒ සියල්ල ම ‘තමා’ හෝ ‘තමාගේ’ හෝ ‘තමාට අයත්’ දෙයක් වශයෙනි. මේ මතයෙන් නිදහස් වීම මොහුට කළ නොහැකිය. සත්‍ය වශයෙන් ම මොහු ආත්මය යනු කුමක්දැයි නොදනියි. අනාත්මය ද නොදනියි. නිවන ද නොදනියි. මොහුට ඒ සියල්ල ම තමා අයත් දෙයකි. සක්කාය දිට්ඨිය යනු මෙයයි. මේ සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ද, ධර්මය සරණ ගිය ද, ශ්‍රාවක සංඝයා සරණ ගිය ද ඒ සරණෙහි ස්ථිරව පිහිටා සිටින්නට අසමත් වෙයි. ඔහුගේ සරණ වහා බිඳී යයි. ඔහුගේ සීලය ද වහා බිඳී යයි. ඔහුගේ ශ්‍රද්ධාව පහසුවෙන් ම විලාසිතාවක් බවට පත්වේ. ඔහු වෙනත් මති මතාන්තර සුවසේ වැළඳ ගනියි. බුද්ධ දේශනා පවා තමාගේ අවශ්‍යතාවයන් උදෙසා යෙදවීමට පසුබට නොවෙයි. මෙනිසා මොහු සෝතාපත්ති අංගයන්ගෙන් තොර කෙනෙකි. එනම්, ධර්ම මාර්ගයට පැමිණි පුද්ගලයෙකු තුළ පිහිටන ගති ලක්ෂණවලින් බැහැර වූවෙකි. මෙවැන්නෙක් සැදැහැබර බව පෙන්වා සිටියත් එය හුදෙක් පිටස්තර පෙන්වීමක් මිස අභ්‍යන්තර ගුණයක් නොවේ. මොහු ප්‍රඥාවන්ත බව පෙන්වා සිටිය ද එය හුදෙක් තර්කය පදනම් කොටගත් මතවාදයක් මිස හැබෑ ප්‍රඥාවක් නොවේ. මොහුගේ සමාධිය ද ආර්ය සත්‍යාවබෝධයෙන් තොරව තිබෙන්නක් හෙයින් සම්මා සමාධිය ද නොවේ.

වරක් අප භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන කල්හි නන්දිය නමැති ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම ප්‍රශ්නය අසා සිටියේ ය.

“ස්වාමීනී, යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන් ම මුළුමනින් ම හැම අයුරින් ම දකින්නට නැද්ද, මෙවන් ශ්‍රාවකයා ස්වාමීනී, ප්‍රමාදී පුද්ගලයා වශයෙන් කිවයුතු නොවේ ද?”

එවිට අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙයයි. “එම්බා නන්දියෙනි, යමෙකු තුළ සතර සෝතාපත්ති අංගයන් සම්පූර්ණයෙන් ම මුළුමනින් ම හැම අයුරින් ම දකින්නට නැද්ද, මා ඔහු ගැන කියන්නේ බුද්ධ ශාසනයට අයිති නැති පෘථග්ජන පක්ෂයට අයත් කෙනෙකු වශයෙනි.”

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ පෘථග්ජනයා සතර සෝතාපත්ති අංගයන්ගෙන් තොර බවයි. සතර සෝතාපත්ති අංග යනු මොනවාද? එනම්, සෝවාන් වූ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි පුද්ගලයෙකු තුළ අනිවාර්යයෙන් ම පිහිටන ගති ලක්ෂණ සතර මොනවාද? එනම් ආර්ය ශ්‍රාවකයා,

  1. බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති – බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොන ම හේතුවක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වේ.
  2. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති – ශ්‍රී සද්ධර්මය කෙරෙහි මොන ම හේතුවක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වේ.
  3. සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති – බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මගඵලලාභී ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි මොන ම හේතුවක් නිසාවත් සැක නොකරන ස්ථිර වූ ප්‍රසාදයකින් යුක්ත වූයේ වේ.
  4. අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති – ආර්ය වූ සත්පුරුෂ උතුමන්ගේ පැහැදීම ඇතිවන සීලයෙහි අඛණ්ඩව පිහිටා සිටින ගුණයෙන් යුක්ත වේ.

මෙකී සෝතාපත්ති අංගයන් ස්ථිරව පිහිටන්නේ මගඵලලාභීන්ට පමණි. පෘථග්ජන පක්ෂයේ සිටින අන්‍යයෝ කලකට සැදැහැයෙන් ඉපිළ යන සෙයක් පෙන්වමින් භක්තිභාව ගුණෝපේතව වාසය කරති. තවත් කලකට ඔවුහු එය ම සැක කොට තිසරණය පවා අත්හැර වෙනත් ඇදහීම්වලට ගොස් ඒ අයුරින් ම භක්තිභාවයෙන් වසති. ඔවුහු කලකදී සීලයෙන් සුසෝභිත වූ සෙයක් පෙන්වති. තවත් කලක දී ‘මෙකල සිල් රැකීම නොකළ හැක්කකි. සිල්වත්හු යනු කුහකයෝ ය’ යනාදී වශයෙන් අන්‍ය වූ සිල්වතුන්ටත් ගරහමින් තුමූ දුසිල් වෙති. ඒ පෘථග්ජනයෝ භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද ධර්මය ද නුනුවණින් ගෙන වාදාභිමුඛව අත්තුක්කංසන පරවම්භනයෙහි යෙදී සිටිති. ඔවුහු බොහෝ සෙයින් සත්පුරුෂ ධර්මය හඳුනාගත නොහැකි අභාග්‍යවන්තයෝ ය. ඔවුහු තමාගේ පැවැත්මට කිසියම් වූ අනුබලයක් කිසියම් අයුරකින් සොයන්නෝ ය. ඔවුන් හට සත්‍යයෙන් කම් නැත. ධර්මයෙන් කම් නැත. කෘතගුණයෙකින් කම් නැත. මොනයම් අයුරකින් හෝ ලෝවැස්සෝ තමාව විශේෂ කොට සළකත් නම් එපමණකින් සෑහේ.

මේ නිසා පෘථග්ජනයා වහා වෙනස්වන සුළු චරිත ලක්ෂණයන්ගෙන් යුක්ත වේ. ඔවුන්ගේ වෙනස්වීම හුදෙක් සිය චර්යා රටාවට පමණක් සීමා නොවේ. තමන්ට හමුවන හමුවන දේ ඉදිරියෙහි වෙනස් වීමට ලක්වෙති. මෙබන්දෝ ස්ථිර ගුණයක පිහිටා සිටිත් නම් ඔවුහු ඉතා විරලයහ.

පෘථග්ජනයා හට ඇති ඉතා බිහිසුණු අනතුර නම් ඔවුන්ගේ ඉරණම නිරතුරුව නැඹුරු වී තිබෙන්නේ සතර අපාය කෙරෙහි වීමයි. සතර අපායෙන් මුදවාලීමේ හැකියාවක් ඔවුන් තුළ නැත. සතර අපායෙන් මුදවාලීමේ හැකියාව තිබෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් තුළ ය. ඒ ඉන්ද්‍රිය යනු සාමාන්‍ය වශයෙන් අප කතා කරන, අප තුළ ඇති ෂඩින්ද්‍රියයෝ නොවෙති. ෂඩින්ද්‍රියයෝ යනු ඇස, කන, නාසය, දිව, කය, මන යන සය ය. මේවාට සතර අපායෙන් මුදවාලීමේ හැකියාවක් නැත්තේ ය.

අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළේ නම් ඔහු තුළ ඉන්ද්‍රිය ධර්ම පිහිටයි. ඔහු පෘථග්ජනයෙක් නොවේ. ආර්ය පුද්ගලයෙකි. ආර්ය ධර්මයෙහි හික්මුණෙකි. සත්පුරුෂයෙකි. සත්පුරුෂ ධර්මයෙහි හික්මුණෙකි. ඔහු තුළ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රියයන් තමන්ගේ අවබෝධයෙහි ප්‍රමාණයට පිහිටා ඇත්තේ ය. ඔහු සතර අපායෙන් මුදවා සුගතිය කරා ගෙන යන්නේ තමන් තුළ ඇති ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලයෙන් විනා වෙනකක් නිසා නොවේ. පෘථග්ජනයා තුළ එබඳු ඉන්ද්‍රියයන් පිහිටා නැත්තේ ය. එහෙයින් පෘථග්ජනයෙකු ඉතා කැපවීමකින් ධ්‍යාන සමාධියක් උපදවාගෙන එයින් නොපිරිහී බඹලොවෙහි උපදින නමුත් එහිදී හෝ ඔහුට ආර්ය සත්‍යාවබෝධයකින් ඉන්ද්‍රිය ධර්මයන් උපදවා ගන්නට නොහැකි වුවහොත් එයින් චුත වූ විට සතර අපායට ම ඔහුගේ ගමන විවෘත වී ඇත්තේ ය. මෙනිසා පුහුදුන් බව යනු සතර අපායට වැටෙන ස්වභාවය ම ය.

මෙයින් අදහස් කළේ පෘථග්ජන කෙනෙකු ධ්‍යාන සමාපත්ති ආදිය නොවඩා සිටිය යුතු බව නොවේ. පෘථග්ජන කෙනෙකු තෙරුවන් සරණ නොයා සිටිය යුතු බව නොවේ. පෘථග්ජන කෙනෙකු සිල් සමාදන් නොවී සිටිය යුතු බව නොවේ. පෘථග්ජන කෙනෙකු දන්පැන් නොදී සිටිය යුතු බවක් නොවේ. පෘථග්ජනයා තුළ ස්වාභාවික ලෙස පිහිටා ඇති අන්තරායකාරී සසර ගතිය යි. ඒ අන්තරාය නම් සතර අපායෙහි වැටෙනසුළු බව ම ය.

බුදුරජාණන් වහන්සේ නමක් ලොවෙහි පහළ වන්නේ දෙව් මිනිස් ලෝකයා මේ පෘථග්ජන භාවයෙන් මුදවාලීම පිණිස ම ය. සත්පුරුෂ භූමියට පමුණුවාලීම පිණිස ය. සත්පුරුෂ ධර්මයෙහි හික්මවාලීම පිණිස ය. ඒ හේතුවෙන් සසර ගමනෙහි නිමග්නව සිටින පුහුදුන් සත්වයෝ සත්‍යාවබෝධය නිසාවෙන් ම ඒ පුහුදුන් ගතියෙන් නිදහස් වෙති. ඔවුහු හේතුඵල දහම පසක් කළාහු වෙති.

පෘථග්ජනයා මම ය, මාගේ ය, මාගේ ආත්මය ය කියා තමා කේන්ද්‍ර කොට සියල්ලට මුළාවෙන් බැඳී සිටිද්දී එයින් නිදහස් වූවන් සිතන්නේ එයට හාත්පසින් ම වෙනස් අයුරිකිනි. එනම් ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මං’ යනුවෙනි. එහි තේරුම ‘ලෝකයෙහි හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යම් කිසිවක් ඇත්ද, ඒ සියල්ල ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ධර්මතාවයෙන් යුක්ත ය’ යන අවබෝධය යි. මෙයට කියන්නේ ධම්මචක්ඛු හෙවත් දහම් ඇස කියා ය. මේ දහම් ඇස පෘථග්ජනයාට නැත්තේ ය. එය භාග්‍යවතුන් වහන්සේ වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලෝක ස්වභාවයට අයත් හේතුඵල දහම අවබෝධ වීමෙන් ම උපදින්නා වූ ඇසකි. එම ඇස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් උපදින භාග්‍යවතුන් වහන්සේට ම අයත් දෙයක් මිස වෙන කිසිවෙකුට අයත් දෙයක් නොවේ. ඒ ඇස උපදිනා තුරු ලොවෙහි සියල්ලෝ පෘථග්ජනයෝ ය. සතර අපායෙහි වැටි වැටී දුක් විඳින්නෝ ය. ආර්යයන් වහන්සේලා නොහඳුනන්නෝ ය. ආර්ය ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝ ය. ආර්ය ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝ ය. සත්පුරුෂයන් නොහඳුනන්නෝ ය. සත්පුරුෂ ධර්මය අවබෝධ කිරීමෙහිලා අදක්ෂයෝ ය. සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු තැනැත්තෝ ය. අහෝ….! මේ පුහුදුන් බව යනු කෙතරම් බිහිසුණු ස්වභාවයක් ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here