පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. මාෆියාව

0
14


ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා ලෙස චීන ජාතික කාන්තාව හමුවූයේ ජනවාරි මස 27 වැනිදාය. එම රෝගියා හමුවන විට ශ්‍රී ලංකාවේ වයිරසවේදී රසායනාගාර හතරක් ක්‍රියාත්මක විය. බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය, මහනුවර ජාතික රෝහල, ගාල්ල හා අනුරාධපුර ශික්ෂණ රෝහල්වල එම රසායානාගාර ස්ථාපිත කර තිබුණි. ආරම්භයේදී දිනකට පී.සී.ආර්. 2000 ක් පරීක්ෂා කිරීමේ ධාරිතාවක් එම රසායනාගාරවලට තිබීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට නොරහසකි. ඊට අමතරව ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය සතුව පී.සී.ආර්. යන්ත්‍ර තිස්හයක් තිබුණි. එම යන්ත්‍රවලට ප්‍රතික්‍රීයක කට්ටල ලබා දුන්නේ නම් දිනකට පරීක්ෂණ 4500 ක් සිදු කිරීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පැවතින. මේ අනුව කොවිඩ් – 19 වයිරසය ආරම්භයේම දිනකට පරීක්ෂණ 6500 ක ධාරිතාවක් අප සතුව පැවතීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලබා තිබූ ජයග්‍රහණයකි.

මෙවැනි ධාරිතාවක් තිබියදී මාර්තු මස 17 වන දින පළමු ශ්‍රී ලාංකික කොවිඩ් ආසාදිතයා හමුවිය. ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට පී.සී.ආර්. යන්ත්‍ර මිලදී ගැනීමටත්, ප්‍රතික්‍රියක කට්ටල මිලදී ගැනීමටත්, නිදර්ශක පෞද්ගලික අංශයට යොමු කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීහු සුපුරුදු සෙල්ලම ආරම්භ කළහ. මෙබඳු අවස්ථාවල කරන හදිසි මිලදී ගැනීම්වලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට කොමිස් කුට්ටි කඩා ගත හැකිය. එහෙත් විදේශවලින් පී.සී.ආර්. පරීක්ෂණ උපකරණ ගෙන්වීමට කෙරෙන බලපෑම් කිරීම හමුවේ එවකට සෞඛ්‍ය ලේකම් ලෙස සිටි භද්‍රානි ජයවර්ධන විශේෂ කමිටුවක් පත් කරන ලදී.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ ​ෙවෙද්‍ය අමල් හර්ෂද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට සුදත් රත්නවීර, ඉංජිනේරු ජනප්‍රිය කරුණාතිලක, වෛද්‍ය එම්. ආර්. ඊ. බෙල්ලන, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ද ඇතුළත් වූහ.

මෙම කමිටුව අප්‍රේල් මස 15 වන දින සකස් කළ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරියට භාර දෙන ලදී. එම වාර්තාවේ අවධාරණය කර තිබුණේ පී.සී.ආර්. යන්ත්‍ර මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. දැනට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව ප්‍රමාණවත් බවත්, පෞද්ගලික රෝහල් හෝ විශ්වවිද්‍යාල රසායනාගාරවලට සාම්පල් යොමු කිරීමේ අවශ්‍යතාවක් ද නොමැති බව කමිටුව වාර්තාවෙන් පෙන්වා දී ඇත. එහෙත් චීන සමාගමක් සමග එකතුව සෞඛ්‍ය අමාත්‍යාංශය පී.සී.ආර්. පරීක්ෂණ 4000 ක් දෛනිකව කළ හැකි බවට ජනමතයක් ඇති කරමින් මුල්ලේරියාව මූලික රෝහලේ රසායනාගාරයක් ස්ථාපිත කරන ලදී. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 250 කි. හදිසි නිසා තාවකාලික ක්‍රමවේද භාවිත කරමින් ගොඩනැගිල්ල ඉදිකර ඇත. කෙතරම් හදිසියේ ඉදි කළේද යත් රසායනාගාරය සඳහා රැගෙන ආ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල පවා නිසි පරිදි මෙරටට ආනයනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇත.

ප්‍රතික්‍රියක කට්ටල ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කළ යුතු අතර එලෙස ගෙන්වන ලද කට්ටල තිස්දහසෙන් පහළොස් දහසක් භාවිත නොකර කල් ඉකුත් වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පසුගියදා කරුණු අනාවරණය කළේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස්ද කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික අංශයේ රසායනාගාරවලට යැවීමට උත්සාහ ගත්තද එයද වැළකිණ. විවිධ ආධාර මත ගුවන්තොටේ වෙනම රසායනාගාරයක් ඉදිකරන ලදී. එහෙත් විශේෂඥ අමුත්තන් ලෙස පැමිණෙන්නන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට යොමු කරන ලදී. කෙසේ වෙතත් රජයේ මැදිහත්වීමෙන් පමණක් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වමින් කොවිඩ් පළමු රැල්ල සාර්ථකව නිමාවට පත් විය.

රජය විසින් ආර්ථිකය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර එහිදී සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කරන ලෙස අමාත්‍යාංශය බලධාරින්ට දැනුම් දෙන ලදී. ඒ අනුව කර්මාන්තශාලා හිමිකරුවන් සියලු පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කිරීමට පියවර ගත්හ. පෞද්ගලික අංශය කරන පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳ අමාත්‍යාංශය ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා එම පරීක්ෂණ වාර්තා පිළිබඳ ගැටලු මතු විය. ඇතැම් විට ධනාත්මක බව කියූ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් පසුව කඩිනමින් ඍණාත්මක බව ප්‍රකාශ කිරීම ප්‍රහේලිකාවක් විය. විශේෂයෙන්ම පසුගිය කාලයේදී මාධ්‍යයෙන් හෙළි කළ පරිදි ලංකා විදුලි පෞද්ගලික සමාගමේ කඳාන ඩිපෝවේ නිලධාරින් 13 දෙනකුගේ පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් පළමුව සිදු කරන ලදී. එහෙත් පළමුව ධනාත්මක බව කියූ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව දෙදිනක් තුළ ඍණාත්මක බව ප්‍රකාශ කිරීම නිසා ඔවුන්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් මතු විය.

පෞද්ගලික රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනු ලබයි. එම රෝහල් පී.සී.ආර්. පරීක්ෂණයක් දිනකින් නිකුත් කර්නනේ නම් රුපියල් 15,000 ක්ද, දින තුනකින් නිකුත් කරන්නේ නම් රුපියල් 7000 ක්ද අය කරන බව වාර්තා වෙයි. මෙය ව්‍යාපාරයකි. මිල නියාමයනයක් සිදුකර නොමැත.

කෙසේ වෙතත් පෞද්ගලික රෝහල්වලට මේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා අවසර ලබා දීමද ප්‍රහේලිකාවකි. නිසි පරිදි අවසරයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණය ගනු ලැබුවේ කවුරුන්ද යන්න ගැටලුවක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීනගේ විද්වත් සංගමය පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම සංකීර්ණ ක්‍රියාවලියේදී පෞද්ගලික අංශය විසින් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ නිසි පරිදි සිදු කරන්නේද යන්න පිළිබඳ නියාමනය කළ යුතුයි. ඇතැම් පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල බිම අහුරා අනාරක්ෂිතව තිබෙන අයුරුද අපට වාර්තා විය. මෙම රසායනාගාරවල පරීක්ෂණ සිදු කරන්නේ නිවැරදි ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබූ පුද්ගලයන්ද යන්න සැකයකි. නමුත් පරීක්ෂණ වාර්තාවේ වයිරසවේදීන්ගේ අත්සන යොදා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් ආරම්භ සමයේ පී.සී. ආර්. පරීක්ෂණ 1000 ක් පමණ සිදු කළද මේ වන විට පරීක්ෂණ දසදහසක් සිදු කිරීමේ ධාරිතාවක සිටියි. ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය සතු පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර 30 ද ප්‍රයෝජනයට ගැනීම තුළින් එම ධාරිතාව තවත් ඉහළ නැංවිය හැකිය. එම යන්ත්‍රවලට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටලද ලෝක සෞඛ්‍ය සංවිධානය සපයා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here