Thursday, October 29, 2020
Home සිත නිවන දම් අමා බුදු සසුන බැබළවීම පිණිස මනුලොවට වැඩි අසහාය ධර්මදූතයාණෝ

බුදු සසුන බැබළවීම පිණිස මනුලොවට වැඩි අසහාය ධර්මදූතයාණෝ

0
73


ලෝකනාථ වූ ගෞතම සම්මා සම්බුදු රජුන් විසින් පිහිටුවන ලද එ් ගෞතම බුදු සසුන ජම්බුද්වීපයෙන් අතුරුදහන්ව වසර අටසියයකට වැඩි කාලයක් සැඟවී තිබුනි. එ් ගෞතම බුදුරජුන් උපන් ලුම්බිණිය, සම්බුද්ධත්වය ලැබූ වජිරාසන භූමිය, දම්සක් සිහනද පැතිරූ ඉසිපතන මිගදාය, පිරිනිවන් පා වදාළ කුසිනාරාව එවකට බෞද්ධ ලෝකයා අතර රැව් දුන්නේ නාමමාත්‍රික වශයෙන් පමණි.

එකල ජම්බුද්වීපයත්, ලංකාද්වීපයත් පැවතුනේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත වශයෙනි. නමුත් ඔවුන් විසින් විශේෂ දෙයක් කරන ලදී. එනම් පුරා විද්‍යාව නමින් විෂයක් බිහිකොට නටඹුන් ගවේෂණය කිරීමයි. එහි ප‍්‍රතිඵල විසින් යළි බුද්ධභූමි හඳුනාගන්නා ලදී. මෙසේ නටඹුන් අතරින් බුද්ධභූමි මතුවන විට මරසෙන් පරදා බුදු බව ලැබූ අප තිලෝගුරු ශාස්තෘන් වහන්සේගේ ජය භූමිය වන දඹදිව ගයාවේ වජිරාසන විහාරය මහන්තාගිරි නම් වූ පරිබ්‍රාජකයෙකු විසින් ඩැහැගෙන තිබුණි. බෞද්ධ විරෝධී සංකරාචාර්ය පරපුරේ සිටි එ් පරිබ්‍රාජකයා වජිරාසන විහාරයේ ශිව ලිංගයක් පිහිටුවා ආදායම් උපදවන මාර්ගයක් හැටියට පවත්වාගෙන ගියේය. ඔහු සිය අණසක පතුරුවා සිටියේ දානව රාක්ෂසයෙකු අරක් ගත් විලක් හැටියටය.

මේ අතර මිසදිටුවන්ගේ ග්‍රහණයේ පැවැති දඹදිව් තලයේ බුද්ධභූමි යළිත් බැබලවීම පිණිස උරුමකම් කී අසහාය ධර්මදූතයාණන් උපත ලැබුවේ බුදු සසුන පිහිටි මේ සිරිලක් බිමෙහිය. එ් 1864 සැප්තැම්බර් මස 17 වෙනි දින ය. එකල තිබුනේ මිසදිටු මිෂනාරීන්ගේ ග්‍රහණයේ සිටි බෞද්ධ ජනතාවට නිදහසේ කටයුතු කළ නොහැකි වකවානුවකි. එනිසා පාදිලිතුමෙකුගේ අභිමතය පරිදි මේ දරුවාට නම් තබන ලද්දේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නමිනි. එහෙත් තම මෑණියන් වන මල්ලිකා හේවාවිතාරණ මාතාව සහ පියාණන් වන දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාත් තම පුත් රුවනට බොදුනු පරිසරයක් ඇතිකරදීමට සමත් වූහ. එනිසාම නව වෙනි වියෙහිදී පටන් මේ පින්වත් දරුවා සිල් සමාදන් වීමට පුරුදු වුනේය.

විද්‍යෝදය, විද්‍යාලංකාර පෙරදිග අධ්‍යාපන පීඨ ආරම්භ වීම, පානදුරාවාදය සහ බෞද්ධ පුනර්ජීවනය ආරම්භ වීම පැතිරගියේ එසමයේය. එකල දියුණුවෙමින් පැවැති පරමවිඥානාර්ථ සමාගම මගින් බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමට ඕල්කොට්තුමා මුල් වී කටයුතු කරද්දී ඩේවිඩ් හේවාවිතාරණ යොවුන් තරුණයාගේ සිත එයට නැඹුරු වී ගියේය. ඕල්කොට්තුමා සමඟ ලක්දිව පුරා සංචාරය කිරීමට මොහුට අවස්ථාව ලැබුණි. ඕල්කොට්තුමාගේ දේශන සිංහලට හරවන ලද්දේ ඩේවිඩ් හේවාවිතාරණ විසිනි. කෙමෙන් කෙමෙන් මොහුගේ කථාබහ අමුතු පන්නරයකින් තියුණු විය. දේශමාමක අදහසින් උණුසුම් විය. ශාසන වාත්සල්‍යයෙන් නැවුම් විය. ලොවට සේවය කිරීමෙහි ප‍්‍රාණවත් විය. ඩේවිඩ් යන මිසදිටු නාමය මේ යොවුන් දරුවාට තිත්ත විය. හේ තනිවම තමාගේ නාමය ධර්මපාල බවට පත්කර ගත්තේය. හෙතෙම තනියම තීරණ ගැනීමේ අතිසමතෙකි.

“ගෘහපතියෙකුව ගේදොර ප්‍රවේශම් කිරීමෙන්ද, දරුවන් පෝෂණය කිරීමෙන්ද ගත කරන කාලය දුකින් පසුකරන්නට ඕනෑ බව මට වැටැහී තිබේ. මේ නිසා බ‍්‍රහ්මචාරීව වාසය කරන්නට මම සිතට ගතිමි. මහණ භූමියට ඇතුළත් වන්නට කැමැති නමුත් මහණ නොවී බ‍්‍රහ්මචාරීව සිටීම වඩා ප‍්‍රයෝජන නිසා එසේ ජීවිතාන්තය දක්වා සිටිමි. ආත්මාර්ථය සළකා ක‍්‍රියා කරන්නෙකුට මහණ වීම වඩා සුදුසුය. නමුත් පරාර්ථකාමී පුද්ගලයින්ට බ‍්‍රහ්මචාරීව සිටීම ලෝකාර්ථදායක වැඩවලට ප‍්‍රයෝජනවත් වේ.”

එමෙන්ම එතුමාට පැවිදි ජීවිතයට තවත් බාධාවක් තිබුනු බව පෙනේ. එය ශාරීරික ආබාධයකි. එ් බව එතුමා මෙසේ ඉඟිකොට ඇත.

“කුඩා කාලයේ මට හැදුනු රෝගයෙන් මගේ දකුණු කකුල අවලංගු වුන බැවින් මට මහණ වීමට නොහැකි විය. මහණ වෙන්ට මගේ හේතුව මදි.”

ඉන්පසු මෙම අසහාය වාසනාවකින් යුතු විස්මිත පුද්ගලයා ලොව හඳුනාගන්නේ අනගාරික ධර්මපාල යන නාමයෙනි. අනගාරික ධර්මපාලයන් තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත ශ‍්‍රද්ධාවක් තිබුණි. එමෙන්ම බුද්ධ ධර්මය පිළිබඳව ගැඹුරු වැටහීමක් තිබුණි. එමෙන්ම තමන් සිතා ගත් කරුණු ඉටුකර ගැනීම පිණිස අසාමාන්‍ය වූත්, අද්විතීය වූත්, අධිෂ්ඨානයක් තිබුණි. චිත්ත ධෛර්යයක් තිබුණි. සැබැවින්ම අනගාරික ධර්මපාල යනු තනිවම ගමනක් ගිය හුදෙකලා චරිතයකි. ලෝකයෙහි ප‍්‍රසිද්ධ වීම පිණිස ඔහු විසින් කළ දෙයක් නැත. නමුත් ජීවිත පරිත්‍යාගයෙන් බුදු සසුන නගාසිටුවීම පිණිස කරන ලද අද්විතීය කාර්යභාරය විසින් ඔහු ලෝකයෙහි සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්කරන ලදී.

අනගාරික ධර්මපාලයන්ගේ ජීවිතය මුළුමනින්ම වෙනස්වීමට සහ ආනුභාව සම්පන්න වීමට පටන්ගත්තේ බුද්ධගයාවේ වජිරාසන භූමිය වන්දනා කළ මොහොතේ සිටය. එ් 1891 ය.

“සම්මා සම්බෝධි සාධනය පිණිස මහාපුරුෂ ශාක්‍යසිංහ කුමාරයන් වැඩසිටි අපරාජිත බෝධි පර්යංකය සමීපයට පැමිණ දණ නමා අංජලීකර්ම කොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණානුස්මරණය කරමින් නළල වජ‍්‍රාසන මස්තකයෙහි තැබූ කෙණෙහිම සිත ප‍්‍රීතියෙන් බර වූ සංවේගයෙන් පිරී ගොස් මේ උතුම් ස්ථානයේ අත්නොහැර යමි’යි අධිෂ්ඨානයෙන් මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.”

බුද්ධගයා වජ්‍රාසන භූමිය මිසදිටු මහන්තා විසින් ආක‍්‍රමණය කොට තිබීම දුටු මෙතුමා බලවත් කම්පනයකට ලක් විය. සංවේගයට පත්විය. කෝපාග්නියෙන් දිලිසෙන්නට විය. අතිශයින්ම වේදනාවකට පත්විය. මෙතුමාගේ සුවිශේෂී සිහිනය බවට පත්වූයේ මිසදිටු මහන්තාගෙන් බුද්ධගයාව බේරාගැනීමයි. එ් වෙනුවෙන් මොහු ඉතා විශිෂ්ට වූ බෞද්ධ සමාගමක් නිර්මාණය කළේය. එනම් මහාබෝධි සමාගමයි.

එවකට එතුමා විසි හත් වියේ පසුවූ යොවුන් තරුණයෙකි. අනගාරික ධර්මපාලයන් තුළ වෙහෙස වී වැඩකිරීමට අපූර්ව වූ දක්ෂතාවයක් තිබුණි. එතුමා තනිවම ලිපි ලිව්වේය. මුද්‍රණය කෙරෙව්වේය. බෙදා හැරියේය. බුදු සසුන රැකගන්නට කැපවුනේය. බෞද්ධ ලෝකයට ඇසෙන්නට තනි හඬක් නැගුවේය. සියල්ල තනිවම කරන්නට හේ හපනෙකි. එයට වුවමනා බොහෝ ගුණධර්ම ඔහු තුළ එ්කරාශීව තිබුණි.

“කිසි කෙනෙකුගේ පිහිටක් නැතුව තනිවම මහාබෝධි සමාගමේ වැඩද, ඉංග්‍රීසි මහාබෝධි සඟරාව ද ආරම්භ කළෙමි. අධිෂ්ඨාන බලයද, වීර්යයද, කරුණා මෛත්‍රිය ද අප්‍රමාදය ද යන ධර්මයන්ගෙන් මට පිහිට ලැබුනා.”

“ඉවසීම තරම් උතුම් ධර්මයක් නැත. තියෝසොෆිකල් සමාගමේ වැඩභාරගන්නා කාලයේ මගේ වයස විසි එකයි. එ් කාලයේ සිට මම ඉවසා ධර්මය භාවනා කළා….. මගේ විරුද්ධ කාරයන්ට මම මෛත‍්‍රී සිත් පතුරුවනවා. එයින් මට පින් ලැබේ.”

“පොත් බැලීමෙන් ඥානය ලබා ගතිමි. මට ගුරු කෙනෙක් නැත. මට ආචාර්ය වූයේ ධර්මයයි.”

“මම බුද්ධ අවවාදය පිළිගත්තා මිස අන්‍ය මනුෂ්‍යයෙකුගේ කීමක් භාරගත්තේ නැති නිසා බොහෝ දෙනා මා සමඟ අමනාප වුනා. බනිනවා කියා මට දොස් පැවරුවේ අවවාද අකමැති කාලකණ්ණි ටික දෙනෙක් පමණයි.”

මහන්තාගෙන් බුද්ධගයාව බේරාගැනීමේ අතිශයින්ම බරපතල ඓතිහාසික කාර්යභාරය ලක්දිවෙන් පැමිණි හුදෙකලා තරුණ අනගාරිකවරයෙකු විසින් භාරගෙන තිබීම පුදුම සහගත කරුණක් නොවේද? මක් නිසාද යත්, එවකටද බෞද්ධ ලෝකය තුළ භික්ෂූන් වහන්සේලා ලක්ෂ ගණනක් සිටියහ. දුක් විඳින්නට හෝ අභීතව මුහුණ දෙන්නට හෝ අධිෂ්ඨානයකින් වැඩකරන්නට හෝ එතුමා හා සම කිරීමට සුදුසු එක භික්ෂුවක් හෝ බෞද්ධ ලෝකයෙන් සොයා ගත නොහැකි විය.

අනගාරික ධර්මපාලයන් බුද්ධගයා වජිරාසන භූමිය යළි බෞද්ධයන්ට අත්පත් කරගැනීම පිණිස වෙහෙසෙද්දී මිසදිටු මහන්තාගේ සහචර මැරයන්ගෙන් ඇති පදමට බැට කෑවේය. ගුටි කෑවේය. ගැරහුම් ලැබුවේය. නඩුහබවල පැටලුණේය. එපමණක්ද? නැත. ලාංකික බෞද්ධයා නගාසිටුවන්නට ගොස් ඔවුන්ගෙන්ද ඇතිපදමට බැටකෑවේය. අනගාරික ධර්මපාල තෙමේ “සිංහලයෙනි, අවදිවව්! බුද්ධගයාව බේරාගනිව්!” කියා ලක්වාසීන්ට කස පහර තලන්නාක් මෙන් වේගයෙන් කථාකළේය. දැඩි ස්වරයෙන් කථාකළේය. ඉතා කර්කශ විලාශයෙන් කථාකළේය. එයට හේතුව වූයේ ලක්වාසී සිංහල බෞද්ධයන් සුදු ජාතිකයින්ගේ වැඩපිළිවෙලට මුලාව එයින් මත්වී සිටීමයි. එය එතුමා වෙතින් දැඩි උපහාසයට ලක්විය. මේ කවිය බලන්න.

“පර සුද්දාට වැඳුම් පිදුම් කරන ගොන් තඩියාගෙ පුතා, නුඹ නාඩන්න පුතා
පර සුද්දාට භයේ කැලෑ වදින වල් අලියාගෙ පුතා, නුඹ නාඩන්න පුතා
පර සුද්දාට දාසකම් කරන ගොන් තඩියාගෙ පුතා, නුඹ නාඩන්න පුතා
පර සුද්දාගෙ මූත‍්‍රා බාල්දිය අදින වල් අලියාගෙ පුතා, නුඹ නාඩන්න පුතා”

“සිංහල සහෝදරයෙනි, සිංහල ජාතිය නැතිකිරීමට නා නා ජාතිකයින් අප ලංකාවට පැමිණ සිටින මේ කාලයේ නිදානොගෙන අප්‍රමාදීව දුෂ්ට සිත් දුරුකොට සමගියෙන් කි‍්‍රයා කරව්!”

මේ අයුරින් සිංහලයන් අවදිකිරීමට එතුමා වෙහෙසුනේය. සිංහලයන්ට ආර්ථික සංවර්ධනයක් අවශ්‍යයැයි මොහු දැඩි ලෙස කියා සිටියේය.

“සිංහල තරුණයන් ඇමෙරිකාව, ජපානය, ජර්මනිය, ඉන්දියාව, හොංකොං, ප‍්‍රංශය හා එංගලන්තයට ගොස් තාක්ෂණය, විද්‍යාත්මක කෘෂිකර්මය, වාරිකර්මාන්තය ගැන දැනුම ලබාගෙන ආපසු සියරටට පැමිණ ජාතිය ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළ යුතුය.”

“සිංහලයා දියුණු වීමට නම්, විදේශීය භාණ්ඩ පරිහරණයෙන් හා පරිභෝජනයෙන් වැළකිය යුතුයි.”

ලංකාද්වීපය තුළ කාර්මික දියුණුවත්, තාක්ෂණික දියුණුවත්, කෘෂිකාර්මික දියුණුවත්, බටහිර දැනුම උපයෝගී කරගනිමින් ස්වාධීනව කළ යුතු බව ඔහු කියා සිටියේය. එයට අමතරව ඔහු බටහිර සිරිත් විරිත්වලට හා බටහිර විලාසිතාවලට ඇති පදමට පහර දුන්නේය. එයට හේතුව එකල සිටි සිංහලයන් අන්ධානුකරණය බටහිර ජාතීන්ගේ ගැටවලට හසුවී සිටීමයි. බටහිර ජාතීන් සිංහලයාගේ හිස මත නැමි පනාවක් ගසන්නට උගන්වා තිබුනි. සැබැවින්ම එම නැමි පනාව හිස මත ගැසූ විට ඉදිරියට පෙනෙන්නේ අං දෙකක් හිස මතින් මතුවී ඇති ආකාරයයි. අනගාරික ධර්මපාලයන්ගේ සිත වේදනාවෙන් භරිත වූයේ මෙය තේරුම් ගත නොහැකි අනුකරණවාදී මෝඩ සිංහලයන් දුටු විටය. ලංකාව ආර්ථික සමෘද්ධියක් කරා ගෙන යාම පිණිස ධර්මපාලයන් ඉදිරිපත්කළ වැඩපිළිවෙලට කිසිවෙක් සවන් දුන්නේ නැත. ගණන් ගත්තේද නැත. ඔවුන් පෙරලා අපහාසයෙන් සිනහාවෙන්නට පටන් ගත්හ. පන්ති වෛරය නැමැති අසනීපයෙන් පෙලෙන වාමාංශික කම්කරු නායකයින් ධර්මපාලතුමා දෙස බැලුවේ පන්ති හතුරෙකු ලෙසය. ධනපති වාණිජ පන්තියේ නියෝජිතයෙකු ලෙසය.

ගෞතම බුදුරජුන් වදාළ ධර්මය ප‍්‍රචාරය කිරීම පිණිස මොහු තුළ තිබුනේ අසාමාන්‍ය අාශාවකි. එ් ආශාව සංසිඳුවන්නට නම් තව ආත්මභාව විසිපහක්වත් ධර්මප‍්‍රචාරය කළ යුතුය. එතරම්ම බරපතල වූ සිහිනයක් ඔහු තුළ තිබුනි. අනගාරික ධර්මපාලයන්ව තේරුම් ගැනීමට නොහැකි වීමට මෙයද කාරණයක් වූවා විය හැකිය. මක් නිසාද යත්, අනගාරික ධර්මපාලයන් කටයුතු කොට තිබෙන්නේ තමාගේ ප‍්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට නොවේ. සැබැවින්ම ගෞතම බුදු සසුන නගාසිටුවීමටය. එහෙත් ඔහු ගන්නා අසාමාන්‍ය වෑයම සහ එ් සඳහා ඔහුගේ කැපවීම වෙන කෙනෙකුට කළ නොහැකි වීමෙන් බොහෝ අය සිතුවේ ධර්මපාලයන් විසින් කරනු ලබන්නේ අන් අයගේ සේවාව යටකොට තම සේවාව ඉස්මතු කරන බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. එතුමාට අවශ්‍යව තිබුනේ කුමක්ද යන්න තේරුම් ගත හැක්කේ එතුමාගේ අදහස් විමසා බැලීමෙන් පමණි.

“ඉංග‍්‍රීසි පාදිලිවරු බුද්ධාගම නැතිකර දමන්නට අප‍්‍රමාණ වීරිය කරත්. ඉංග‍්‍රීසීන්ට බුද්ධ ධර්මය කියාදෙන්ට කිසිවෙක් නැත. මසකට පවුම් පනහක් වියදම් කරන්නට වේයැයි සිතමි. නමුත් බුද්ධ ශාසනය නැතිකරන්නට ඉංග‍්‍රීසිහු අවුරුද්දකට පවුම් ලක්ෂ ගණනක් වියදම් කරත්. බෞද්ධ ජනයා උපේක්ෂාවෙන් කල් යවත්.”

ධර්මපාලතුමාගේ බුදුසසුන නගාසිටුවීමේ අසාමාන්‍ය වෑයම තේරුම් ගන්නට නොහැකි වීම අවාසනාවකි. එක දිගට වසර හතළිස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් වෙහෙසුන එතුමා අන්තිමේදී කලකිරී සිටියේය.

“මේ විදිහේ අදහස්වලින් මිදී බටහිරදිග රටවල බුද්ධාගම දේශනා කිරීම සඳහා මා වීර්යය කරන විට අපේම ජනයා මට ආගම් පිස්සෙකැයි කියන්නට විය. ලංකාවේ කටයුතු රාශියක් තිබියදී මෙවැනි ධර්මදූත ක‍්‍රියාවක නිරතවීම ගැන ඇතැම් භික්ෂූන් වහන්සේලා මා පිස්සෙකැයි කියා තිබේ.”

“මගේ මරණය වුනොත් දඹදිව මහාබෝධි සමාගමේ වැඩ කරන්නට කිසිවෙකුත් නැත. වර්ෂ තිස් හතරක් මගේ කාලය දඹදිව බුද්ධ ශාසනය පිහිටුවීමට ගත කළෙමි. ආධාර වෙනුවට වර්ෂ තිහක් බෞද්ධයින්ගෙන් මට ලැබුනේ නින්දා පමණයි.”

“බ‍්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේට අභූත දෝෂාරෝපණ කර තිබේ. ශාසන දියුණුවට දිවා රාත‍්‍රී වැඩකරන මට අභූත දෝෂාරෝපණ කිරීම අපරාධයකි.”

“බෞද්ධයින්ට බෝ මැඩ එපා නම් මට කරන්ට දෙයක් නැහැ. මගේ දිවි තිබෙනතාක් එය මහන්තාගෙන් බේරාගන්නට වීර්යය කරමි. අපේ උන්නාන්සේලාද අපට ඊර්ෂ්‍යා කරති. ගිහි බෞද්ධයෝත් එසේමයි.”

“අප භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පේ‍්‍රමයෙන්, ශ‍්‍රද්ධාවෙන් ජීවිත පරිත්‍යාග කිරීමට භික්ෂු නමක් අද ලංකාවේ සොයා ගැනීම දුර්ලභයි. ඉන් නිසා පොඩි උන්නාන්සේලා වීර්යය කොට දුක් ගනිමින් ඉන්ද්‍රිය සංවරය ඉගෙන ගත යුතුයි.”

“ලංකාවේ උන්නාන්සේලා සැප සෙව්වා මිස ශාසන දියුණුවට කිසිවක් කළේ නැත.”

“පවිටු අදහස් ඇති කාලකණ්ණි අසත්පුරුෂයන්ගෙන් ලෝක ශාසනයට අර්ථයක් නැත.”

“හීනාධිමුක්තිකවුන් හීනාධිමුක්තයන් සමඟ එකතුවීම ලෝක ධර්මයකි.”

“දඹදිව බුද්ධ ශාසනය නැවතත් පිහිටුවීමට බෞද්ධ ගිහි පැවිදි කිසිවෙකුගෙන් කැමැත්තක් නැති වීම බලවත් ඛේදයකි.”

“ලංකා බෞද්ධයින්ට බුද්ධාගම නාටකයක් වී තිබේ.”

“සීල සම්පන්න භික්ෂූන් වහන්සේලා දෙනමක් සොයා ගන්නට මේතාක් නොහැකි විය. තණ්හා මාන ඊර්ෂ්‍යා ඇති භික්ෂූන් බෝ මැඩ නැවතීමට සතුටු නැත.”

“වර්ෂ හතළිහක් තුළ බෝ මැඩ නැවතීමට භික්ෂූන් දෙනමක් ලබාගන්ට නොහැකි වීම පුදුමයි. ශ‍්‍රද්ධා සම්පන්න සමාධිභාවනා කරන පැවිදි දෙනමක් බෝ මැඩ නොසිටීම අපමණ පාඩුයි.”

අනගාරික ධර්මපාලතුමාට දඹදිව බුදු සසුන දියුණු කරගැනීමට බංගාලි ජාතිකයෙක්වත් උදව්වට ගැනීමට නොහැකි විය.

“එකම බංගාලියෙක් බුද්ධාගමට හිත නැතිවීම පුදුමයි. ශ‍්‍රද්ධාව ඇති බංගාලි මහණුන්නාන්සේලා නෑ.”

“තරුණ බංගාලි බෞද්ධයෙක් අපට මේ තාක් ලබාගැනීමට නොහැකි වීම අපේ වැඩට බාධාවකි. බෞද්ධ වීර පුරුෂයෝ අපට ලැබේවා කියා හැමදාම ප‍්‍රාර්ථනා කරපන්.”

අනගාරික ධර්මපාලතුමා තම සේවාවට ලාංකික බෞද්ධ පිරිස් යොදාගැනීමට වෙහෙසෙද්දී එතුමා පසුපස කුමක්දෝ අවාසනාවක්ද පැමිණ තිබුනි. එනම් එතුමා සමීපයට පැමිණෙන භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් එතුමාට ඊර්ෂ්‍යා කොට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹීමයි. ඇතැම් භික්ෂූන් වහන්සේලා එතුමාට විරුද්ධව කැලෑ පත්තරද ගසා තිබේ. විවිධාකාර චෝදනා කරමින් නින්දා අපහාස කොට තිබේ. එතුමාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම පිණිස වෙහෙසී තිබේ. බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් කැපවෙන සත්පුරුෂයා හඳුනාගත නොහැකි වීම භික්ෂු සමාජයේ ඇති මහත් අභාග්‍යසම්පන්න තත්වයකි.

“හතළිස් වර්ෂයක් නොයෙක් දුක්විඳ හදාගත් මහාබෝධි සමාගම නැමැති වෘක්ෂය කපා දමන්නට එ් උන්නාන්සේ තීන්දු කරගැනීම සංවේගජනකයි. එ් උන්නාන්සේ දඹදිවට පමුණුවා ගැනීමෙන් අපේ වැඩට අන්තරා බව පෙනේ…… එ් උන්නාන්සේ කළ උපකාර සියල්ලම මතක නැතිකර දමා අපේ වැඩ නැතිකර දමන්නට යෑම යුතු නැත.”

අන්තිමේදී එතුමා කිසිදා සැබෑ නොවන සිහිනයක පැටලුනි. එනම් ඉංග‍්‍රීසි ජාතීන්ගෙන්වත් බුදු දහම දියුණු කරගන්නට පැතීමයි. එනම් සුද්දන් බුදුදහම වැළඳගෙන දඹදිව බුද්ධ ධර්මය දියුණු කරන්නට හැකියාවක් ලබන බවයි.

“බෞද්ධ රජෙක් නැති මේ කාලේ ඉංග‍්‍රීසි මහාමන්ත‍්‍රියෙක් ලවා දඹදිව බෞද්ධකෘත්‍යය කරන්නට වී තිබේ. අනාගතයේදී බලසම්පන්න ඉංග‍්‍රීසීහු බුද්ධාගම පිළිගෙන ආර්ය ධර්මය දඹදිව වර්ධනය කරනවාට සැක නැත.”

සුද්දන්ටද මෙය කළ නොහැකි බව එතුමා වටහාගෙන සිටියාද යන්න අපට තේරුම්ගත නොහැකිය. නමුත් එනිසා එතුමා සූදානම්ව සිටියේ තවදුරටත් නැවතත් ඉපදී බුදු සසුන දියුණු කරන්නට කැපවීම සඳහාය. හැබැයි එතුමා පැතුවේ ලංකාවේ ඉපදීමට නොවේ.

“අවුරුදු හතළිස් හතක්ම මම බ‍්‍රහ්මචාරීව විසුවෙමි. ඊට පසු ගිය අවුරුද්දේ ජූලි මස මම ශුද්ධ ඉසිපතනයේ භික්ෂුභාවයට පැමිණියෙමි. දැන් මගේ අදහස …… උපසම්පන්නව මගේ අවසාන කාලය මේ ශුද්ධස්ථානයේ ගත කිරීමයි. මගේ අධිෂ්ඨානය මරණින් මතු ඉන්දියාවේ බ‍්‍රාහ්මණ පවුලක ඉපිද ශාසනික කටයුතු යළිත් කරගෙන යෑමටයි.”

ගෞතම බුදු සසුන බැබලවීමට පහළ වූ ධර්මපාලතුමා බරණැස ඉසිපතනයේ අතිශයින්ම අලංකාර බුද්ධ මන්දිරයක් තනවන ලදී. එය බරණැස ඉසිපතයේ ඇති දර්ශනීය මූලගන්ධකුටි විහාරයයි. කල්කටාව, මදුරාසිය, බුද්ධගයාව ආදී තන්හි තම ශාඛා ප‍්‍රශාඛා විහිදුවන ලදී. කල්කටාවේ ධර්මරාජික විහාරය මහාබෝධි සමාගමේ මූලස්ථානය කරගන්නා ලදී. එමෙන්ම මහා විද්‍යාල පිහිටුන ලදී. ආරෝග්‍යශාලා පිහිටුවන ලදී. අනාගත මහාබෝධි සේවාව පිණිස ධනයක්ද තැන්පත් කරන ලදී. සැබැවින්ම ගෞතම බුදු සසුන බැබළවීමට උපන් මේ විස්මිත පුද්ගලයා බොහෝ ගිහි පැවිදි උදවියගේ ගැරහුම්, නින්දා අපහාස, බාධා කිරීම් මැද තම සේවාව අඛණ්ඩව කරගෙන ගියේය. එතුමාගේ සේවාව ධර්මාශෝක නරේන්ද්‍රයාගේ ධර්මවිජයට සමීපව තිබුනේය.

දඹදිව උපත ලබන අදහසින් අනගාරික ධර්මපාල ශ‍්‍රීමතාණන් සිරි දේවමිත්ත ධර්මපාල භික්ෂූන් වහන්සේ ලෙස 1933 අපේ‍්‍රල් මස 29 වෙනි දින අපවත් වී වදාළ සේක. එතුමාගේ අපවත් වීමෙන් පසු සියලු දෙනාට සිහිය ඉපදුනේය. ඇස් ඇරුනේය. නින්දා අපහාසවලට අගුලු වැටුනේය. ගුණ ගයන්නට පටන් ගත්හ. රචනා තරඟ තියන්නට පටන් ගත්හ. ප‍්‍රතිමා තනන්නට පටන් ගත්හ. කම් නැත. ජීවත්ව සිටියදී හඳුනාගත නොහැකි පුද්ගලයෙකු අභාවයට පත්වූ පසු හෝ හඳුනාගැනීම සිංහලයන්ගේ එක්තරා දක්ෂතාවයකි.

අනගාරික ධර්මපාලතුමනි, ඔබ නැවැතුනු තැන් සිට ඉදිරියට කරගෙන යාමට ඔබට තරම් අපට එ් අසාමාන්‍ය වීර්යය, චිත්ත ධෛර්යය, භාෂා කෞෂල්‍යය, වාසනා මහිමය නැති බව සැබෑය. නමුත් ඔබ නැවැතුනු තැන් සිට අපද යන්නට වෙර වඩමු. එය ඔබ වෙනුවෙන් කළ හැකි එකම දෙයයි. යම් දිනෙක ඔබේ සසුන් සේවාවට අපගේ සසුන් සේවාව යා කරන්නට හැකිවුවහොත් එය ගෞතම බුදු සසුන බැබළවීමේ ඔබේ සිහිනය සැබෑ වීමක් නොවේද?

මෙම මස 17 වෙනි දිනට යෙදෙන අනගාරික ධර්මපාල අනුස්මරණ ජන්ම දිනය නිමිත්තෙනි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


www.lakviru.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here