මෑත භාගේ සොයාගත්තු මේ සොයා ගැනීම් අපේ අනාගතය අනිවා වෙනස් කරාවි – Lakviru Media Network

0
145


 

2000 වසරෙන් පස්සේ ගතවෙන මේ කාලය ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මකයි. අතීතයේ කිසිදාක සිදු නොවුන තරම් වේගයෙන් තාක්ෂණය දියුණුවට ලක්වෙමින් තිබෙනවා. අතීතයේදී විද්‍යා ප්‍රබන්ධ වලින් පමණක් දුටු සමහර අසාමාන්‍ය විදිහේ සොයාගැනීම් අද වෙනකොට ලෝකයේ නැතිවම බැරි සාමාන්‍ය දේවල් බවට පත්වෙමින් යනවා.

ඉතින් මේ විදියට දියුණු වෙන තාක්ෂණයේ ප්‍රතිඵල හැටියට බිහිවුන “ලෝකයේ අනාගතය වෙනස් කල හැකි මෑත කාලයේ සොයා ගැනීම් කිහිපයක්” ගැන පොඩි විස්තර ටිකක් කියන්නට තීරණේ කලේ මෙන්න මේ විදියටයි.

 
1. ක්වන්ටම් පරිගණකකරණය

World Changing Inventions
Source – dwavesys.com

මේ වෙනකොටත් ලෝකයේ තියෙන නවීනතම පරිගණක වල තියෙන බලය මීට දශක ගණනාවකට පෙර සිහිනයක් වූවත්, ලෝකයේ පරිගණක ශීඝ්‍රයෙන් පරිණාමය වෙමින් පවතිනවා. හැබැයි සිලිකන් පාදක වුණු දෘඩාංග සහිත පරිගණක වලට මුහුණ පාන්නට වෙන දැවැන්තම අභියෝගය වෙන්නේ අදට සාපේක්ෂව අති විශාල පරිගණක බලයක්, ධාරිතාවක් හෝ වේගයක් ලබාගැනීමට මේ සිලිකන් පාදක දෘඩාංග වල සීමාවන් හරස් වීම තමයි. අන්න එතැනදී තමයි ක්වොන්ටම් පරිගණක එන්නේ. මේක තමයි පරිගණක පරිණාමයේ මීලඟ තාර්කික පියවර. පරමාණුවක ඇති උප අංශු වලට එක්වර තත්ත්වයන් කිහිපයක පවතින්න පුලුවන් හැකියාව, එහෙමත් නැතිනම් ක්වොන්ටොම් භෞතික විද්‍යා මූලධර්මයන් උපයෝගී කරගෙන තමයි ක්වොන්ටම් පරිගණක තාක්ෂණය බිහිවෙන්නේ. මේ විදියට නිර්මාණය වෙන ක්වොන්ටම් පරිගණක වල වේගය, ධාරිතාවය සහ පරිගණක බලය ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ. සතුටට කාරණාවක් වන්නේ ඔවුන් මේ වන විටත් ඔවුන්ගේ ඉලක්කය වෙත ගමන් කරමින් සිටීමයි. ඒ නිසා අපේ ඉදිරි අනාගතයේදී ක්වන්ටම් පරිගණක විසින් අපේ අනාගතය තීරණය කරනු ඇති බව කියන්නට පුළුවන්.
 

 

2. CRISPR – ජාන ප්‍රතිනිර්මාණය
World Changing Inventions
Source – youtube.com

DNA අනුවක් සොයා ගත්තත් කවුද හිතුවේ DNA අන්තර්ගත වෙන ජීනෝමයක දත්ත වෙනස් කරන්නට හැකි ක්‍රමවේදයක් සොයා ගන්නට හැකිවේවි කියලා. නමුත් ඇත්ත ඒක තමයි. CRISPR-Cas9 නම් තාක්ෂණය නිසා ජිනෝමයක දත්ත වෙනස් කරන්නට හැකියාව තිබෙනවා. ඒ කියන්නේ කොටස් එකතු කරන්නට, අඩු කරන්නට, සමාන කරවන්නට වගේ කාර්යයන් සඳහා මේ තාක්ෂණය යොදාගන්නට හැකියාව තිබෙනවා.

මේ බයෝ ප්‍රින්ටින් වලින් තිබෙන වාසි අතරේ

  • පිළිකා ඇල්සයිමර් වගේ රෝග වලට ගොදුරු නොවන විදිහට ශරීර හැඩගස්වගන්න හැකිවීම
  • වයසට යාම පරක්කු කර ජීවිත කාලය දිගු කරගන්න හැකිවීම
  • වඳවී ගිය සතුන්ව නැවත නිර්මාණය කරන්න හැකිවීම
  • වගා කටයුතු වලදී සරු ඵලදාවක් ලැබීම
  • අවයව නැවත ප්‍රතිනිර්මාණය කර, ආයු කාලය දීර්ඝ කර ගැනීම
  • බෝවෙන රෝග වලට ප්‍රතිදේහ කෘත්‍රිමව නිපදවන්නට හැකිවීම

වගේ කාරණා ප්‍රධාන වෙන බව කියන්නට හැකියි.

මේ තාක්ෂණයත් එක්ක ඉදිරියේදී සොබාදහමේ නීති අභිබවා ගිහින් ලොවට ගැලපෙන දේ නොව මිනිසුන්ට ගැලපෙන දේ නිර්මාණය කරන්න පටන් ගැනීම වාසියක් ද තර්ජනයක් ද කියලා සිතීම අපිට අනාගතයට භාර කරන්න වෙනවා. නමුත් මේ සොයා ගැනීම අනාගතයේ මුහුණුවර වෙනස් කරන බව නම් විශ්වාසයි.
 

 

3. කෘත්‍රිම මාංශ
World Changing Inventions
Source – internetactu.net

ලොව සත්ව ආහාර නිෂ්පාදනය ඉහළයාම නිසා හරිතාගාර වායු වායුගෝලයට නිදහස් වීම වැඩිවීම පරිසරයට අහිතකර අයුරින් බලපාන බව ඔබ නොදන්නවා වෙන්න පුලුවන්. වර්තමාන තත්ත්වය එසේ වුවත් අනාගත මාංශ තාක්ෂණය ඊට වඩා වෙනස් බව සහසුද්දෙන් ම කියන්නට හැකියාව තිබෙනවා. සතුන්ව නොමරා, හිංසාවට ලක් නොකොට ලබා ගන්නා සෛල මගින් කෘත්‍රිම මාංශ නිපදවන්න තමයි අනාගතේදි උත්සාහ කරන්නේ. මේ සෛල වලට වැඩෙන්නට අවශ්‍ය තත්ත්වයන් කෘත්‍රිමව සකස් කරමින්, ඒවා මාංශ බවට වර්ධනය කිරීමක් තමයි මේ මගින් සිදු කරන්නේ. සතුන් මරන්නේ හෝ වේදනාවට පත් නොකරන ගමන්ම, අඩු ඉඩකඩක් භාවිතා කොටගෙන, අවම පාරිසරික හානියකින් යුක්තව මේ නිෂ්පාදන කරන්නට හැකියාව තියනවා. ඒ වගේම ලෝකයේ මාංශ අවශ්‍යතා සාර්ථක ලෙස සැපිරීමටද හැකියාව ලැබෙනවා. මේ විදිහෙ තාක්ෂණයක් උපයෝගී කරගෙන 2013දි මුල්වරට හරක් මස් බර්ගර් පැටේ එකකුත් නිෂ්පාදනය කරන්න සමත්වෙලා තියනව. අපි බලමු අනාගතේදි මේ තාක්ෂණේ අපිට දැනෙන වෙනසක් කරයිද කියල.
 

 

4. Vertical Farming
World Changing Inventions
Source – urbanorganicgardener.com

දිනෙන් දින ඉහල යන ජනගහනය නිසා ලෝකයේ භුමි ඉඩකඩ මත නිවාස තැනීම වෙනුවට තට්ටු නිවාස ගොඩනැගිලි සැලසුම් නිර්මාණය වෙන්න ගැනීම සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මේ විදියටම එළවලු හෝ පළතුරු නිෂ්පාදනයට අවශ්‍ය වෙන ඉඩ ප්‍රමාණය ඵලදායිව භාවිතාවට ගත්තොත් ප්‍රතිඵලය බොහොම වැඩිවෙන්නට ඉඩකඩ තිබෙන බව විද්‍යාඥයින්ගේ අදහස වුනා. මෙහි ප්‍රධානතම විශේෂත්වයන් තුන තමයි අඩු ඉඩකඩ, පස් රහිත වීම සහ 95%ක් දක්වා අඩු කල ජල භාවිතාව. ස්කයිස්ක්‍රේපර්ස්, එහෙමත් නැත්නම් අහස සිඹින තට්ටු ගොඩනැගිලි වල හදපු හරිතාගාර වලදී පාලනය කරන ලද තත්ත්වයන් යටතේ වගා කටයුතු කරන්න තමයි මේ ක්‍රමයෙන් උත්සාහ කරන්නෙ. මේ විදිහට වගා කිරීමෙන් සෘතු වෙනස්කම් වල බලපෑමට යටත් නොවී අවුරුද්දේ දින 365ම වගා කටයුතු සිද්ධ කරන්න හැකියාව ලැබෙනවා. එහෙම කරන්න හැකිවීම නිසා ලැබෙන ඵලදා ප්‍රමාණයත් වැඩි වෙන බව ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Plantagon කියන්නෙ දැනටමත් ඒ විදිහෙ කටයුතු වල නියැලෙන ආයතනයක්.

මේ වගා පරියේෂණ සාර්ථක අයුරින් කෙරුනොත් මුළු ලොවටම අනාගතයේදී කිසිදු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදු නොවේවි කියලයි කියවෙන්නේ.
 

 

5. ත්‍රිමාන මුද්‍රණය
World Changing Inventions
Source – youtube.com

අපි ප්‍රින්ටින් කියලා කියනකොට කොලයකට කුමක් හෝ මුද්‍රණය කරන්නට හැකි තාක්ෂණයක් ගැන තමයි හිතට එන්නේ. නමුත් වර්තමාන මුද්‍රණ තාක්ෂණයත් එක්ක නිවාස, අපට අවශ්‍ය විවිධ උපාංග පමණක් නෙවෙයි ආයුධ පවා මුද්‍රණය කරගන්නට හැකියාව තිබෙනවා. මේ තාක්ෂණය හඳුන් වන්නේ ත්‍රිමාණ මුද්‍රණය ලෙසයි.

මේ වගේ අඩු වියදම් ක්‍රමයක් නිර්මාණය වීම නිසා අනාගතයේ නිවාස ප්‍රශ්නයට බොහොම කඩිනම් විසඳුම් සොයාගන්නට හැකියාව තිබෙනවායි කියලා අපිට හිතෙනවා. ඒ වගේම පර්යේෂණාත්මක කටයුතු වලට බොහොම පහසුවෙන් ත්‍රිමාණ මුද්‍රණය යොදාගන්නට ඇති හැකියාව ඉතාම ඉහල බව නම් කියන්නම ඕනේ.
 

 

6. Bio-printing
World Changing Inventions
Source – newzzniper.com

විවිධ මුද්‍රණ ක්‍රම ආවත් අපිට තුවාලයක් හෝ ආබාධයක්වූ විට අපිට අවශ්‍ය කරන අවයවය එහෙමත් නැතිනම් අවශ්‍ය වෙන චර්ම ප්‍රමාණය මුද්‍රණය කර ශරීරයට බද්ධ කරගන්න පුළුවන් වෙන කාලයක් ඒවි කියලා කවුද හිතුවේ. ඔව් ඒ කාලේ දැනටමත් ඇවිල්ලයි තියෙන්නේ. විශේෂයෙන්ම විවිධ බෙහෙත් අත්හදා බලන්නට සතුන් හෝ මිනිසුන් යොදාගන්නවා වෙනුවට මේ වගේ මුද්‍රණය කරන ලද අවයව යොදාගන්නට ඇති හැකියාව ගැන විද්‍යාඥයින් මේ වනවිට සොයාබලමින් සිටින බවයි කියවෙන්නේ.

සමහර විට අනාගතයේදී අපේ යම් අවයවයක් දුර්වල වූ විට නැවතත් ඒ අවයවය අපට උවමනා විදියට නිර්මාණය කර සිරුරට එක්කාසු කර ගැනීම තාක්ෂණයක් අනාගතයේ දී දකින්නට හැකිවේවි. අනාගතයේ සැත්කම් සහ අවයව බද්ධ කිරීම් වල ලොකු පෙරළියක් කරන්න පුලවන් තාක්ෂණයක් තමයි මේක.
 
https://www.youtube.com/watch?v=TVoV6u3vp8k

 

7. Drones
World Changing Inventions
Source – bbc.com

Drone කියන දේ මේ ලෝකේ මිනිසුන්ට මහා අමුතු දේවල් නෙවෙයි. ආරක්ෂක සොයාබැලීම් සිට භාණ්ඩ ප්‍රවාහනය දක්වාත්, ඡායාරුපකරණයේ සිට මෙකී නොකී සියලුම අවශ්‍යතා සඳහා අනාගතයේ Drone භාවිතා කිරීම නවත්තන්නට බැහැ. දැනටත් ඇමසෝන් වගේ සමාගම් තමන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා Drones යොදා ගන්නා බව පැවසෙනවා. සුළං පෙති හතරක් හෝ ඊට වැඩි ගණනක් සහිත මේ අපුරු ගමන් සගයා අනාගත ප්‍රවාහන සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ මුහුණුවර වෙනස් කරනු ඇති බව පැවසෙනවා. මේ වන විට විද්‍යාඥයින් මෙය මානව ප්‍රවාහන ක්‍රමයක් ලෙසටත් අත්හදා බලමිනුයි සිටින්නේ.
 

 
Cover Image Source – gizmodo.com
 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here