1. පැටලිලා පලාගියේ නෑ

අපි සූක්ෂම විදියට ඇඟිලි දෙකක් වටේ කරකවලා ඔතලා ඔතලා, කන් දෙක කරකවලා ගැටේකුත් ගහලයි සාක්කුවට දාගන්නෙ. වෙන මොකුත් නෙමෙයි අනේ. අපේ හෑන්ඩ්ස් ෆ්රී එක. ඉතිං එහෙම කරලත් සාක්කුවෙන් ඊලඟ තප්පරේ එළියට ගත්තත් ඕක ලේන්නු කාපු අඹ ගෙඩිය වගේ හෙණ ගහපු ලුක් එකක් තියෙන්නෙ. තුනට යන රේඩියෝ ප්රෝග්රෑම් එකක් අහන්න දෙකයි තිස්පහේ ඉඳන් මහන්සි වෙන්න ඕන.
2. කනක් කොහිද?

සමහර වෙලාවල් තියෙනවා ඉයර් බඩ්ස් දෙකෙන් එකයි ඇහෙන්නෙ. ඇහෙන්නෙ නැත්තෙ මොකද්ද කියලා හොයාගන්නම ටිකක් වෙලා යනවා. ඊටපස්සෙ අර සමහර ඩීජේලා හරි අමාරුවෙන් බෙල්ල නවාගෙන කනක් හිරකරගෙන ඉන්නවා වගේ ඉන්න ඕන අපිත්.
3. ඔටෝ ආන්සර්

සමහර කෝල් ආන්සර් කරන්න කියල හෑන්ඩ්ස් ෆ්රී එක ගහද්දිම ආන්සර් වෙලා ඉවරයි. අපි ගාව ඉන්නෙ කවුද? අපි ඉන්නෙ කොහෙද? වගේ දේවලුත් කෝල් එක දීපු මනුස්සය දැනගෙනත් ඉවරයි.
4. ජැක් කරකවන්න

ජැක් කරකවන්න කියල හෙඩිම දැක්ක ගමන් දුවන් ආපු ජැක් ඩෝසන්ට ටයිටැනික් නැව ඇතුළෙදි රෝස් කියපු නෝටි කතාවක් කියල හිතාගෙන හිටපු අයගෙන් මුලින්ම සමාව ඉල්ලනව. මේ කියන්නෙ සමහර හෙඩ් සෙට් වැඩ කරන්නෙ එක එක වැඩ කෑලි දැම්මම. සමහර ඒවා පෝට් එකට ගහල ජැක් එක හොල්ලන්න ඕන, සමහර ඒව ජැක් එක වමට කරකරවන්න ඕන, සමහර ඒවා දකුණට. ඔය දහංගැට ටික දාලයි හෑන්ඩ්ස් ෆ්රී වැඩකරවන්න ඕන.
5. එයාපොඩ්

ඇපල්ලා අලුත් අයිෆෝන් 7 එකත් එක්ක ගැහුව ඩොලර් 160ක ඉයර්ෆෝන් දෙකක්. හැමදාම දකින ඉයර්ෆෝන්වල වයර් කැතයි කියලා පුරාණ ඉර්ෂිවරයොත් කියල තියෙන නිසා මේපාර උන්දැලා ටික වයර් කපලා. දැන් නිකං කඩුක්කං දෙක වගේ එල්ලං යන්න තියෙන්නෙ. ඔය එයාපොඩ්ස් ගැන වෙනම ලියන්න තරං සිද්ධ වෙන්න පුළුවන් ඇබැද්දි තියෙනවා.
6. ගල බඳින්න

හෑන්ඩ්ස් ෆ්රීවල තියෙනවනේ ෆෝන් එකට එන කෝල් එක හෙඩ් ෆෝන් එකෙන්ම ආන්සර් කරන්න කරන්න එන පොඩි කෑල්ලක්. ඔය කෑල්ලෙ තියෙනව කෝල් ආන්සර් බොත්තමක්. ඒ නිසා සමහර ෆෝන්වල හෑන්ඩ්ස් ෆ්රී පීසී එකට ගැහුවම නිකං ඒලියන්ලා රම්බරී කියනවා වගේ ඇහෙන ගතියක් තියෙනවා. ඒකට විසඳුම තමයි අර බොත්තම ඔබාගෙන ඉන්න එක. කම්පියුටරේ ඉන්නකං ඕක ඔබාගෙන ඉන්න බැරි හින්දා කොල්ලො කරන්නෙ ඔය බොත්තමට ගලක් තියලා සෙලෝටේප් එකකින් ඔතන එක. ඒ වගේම ෆෝන් කර්තාහේ පීසී නහී ජාතාහේ ජාතියෙ හෙඩ්සෙටුත් තියෙනවා. ඒ කිවුවෙ ෆෝන්වලට වැඩ කළාට පීසීවලට වැඩ නොකරන එවුවා.
7. හැමතැනම ඉන්න සෑමදා

හෑන්ඩ්ස් ෆ්රීවල තවත් සුවිශේෂී හැකියාවක් තමයි ඒවා හැම තැනම ඉන්න එක. උදාහරණෙකට ඔයා ඒක කලිසමේ දකුණු සාක්කුවට දාගත්තනං සාක්කුවෙන් කොන්දොස්තර මහත්තයට විස්සක් ඇදල දෙද්දිත් ඒක කොන්දොස්තරගෙ අතට යනව. ඔෆිස් එකේදි බෑග් එකෙන් බත් එක ඇදල ගනිද්දි හෑන්ඩ්ස් ෆ්රී එකත් අතුරුපසට වගේ එල්ලි එල්ලි එනව. කී බෝඩ් එක හෙල්ලෙන නිසා උස්සල බැලුවොත් මෙන්න කීබෝඩ් එක යටත් තියෙනවා.
Cover Image Source – olx.ro
Lakviru Media Network