මොනවද මේ කාලචක්‍ර දශා

0
128


ජ්‍යොතිෂයේදී කාලචක්‍ර දශාවද සුවිශේෂී දශා ක්‍රමයක් ලෙස පලාපල කථනයේදී කාල සිද්ධි නිර්ණය උදෙසා භාවිතා වුණි. මෙම කාලචක්‍ර දශා ක්‍රමය හෙවත් දේහද් දශා ක්‍රමය සෙසු දශා ක්‍රමවලට වඩා සුවිශේෂී වන්නේ ඒ ඒ රාශියට මෙන්ම ඒ ඒ ග්‍රහයාටද විශේෂත්වයක් ලබාදී තිබීමෙනි. එහිදී දශාවන්, දශාව මාරු වනුයේ රාශියෙන් රාශියටය. කාලචක්‍ර දශා ක්‍රමයේදී ජන්ම නැකැතේ පාදය හෙවත් චන්ද්‍රයා සිටින නැකතේ පාදය පදනම් කරගනිමින් ඊට අයත් දශා චක්‍රය අධ්‍යයනය කළ හැක. මෙහිදී නැකැත් චක්‍රයේ නැකැත් 27 සාව්‍ය නැකැත් හා අපසව්‍ය නැකැත් ලෙස වර්ග කරනු ලැබේ. එහිදී සව්‍ය නැකැත් 15ක්ද, අපසව්‍ය නැකැත් 12ක්ද හඳුනාගත හැක. මෙලෙස සව්‍ය හා අපසව්‍ය ලෙසට නැකැත් 27 වර්ග කළ පදනම නම් සිතගත නොහැක. එසේම ඒ පිළිබඳ කිසිදු සටහනක් ජ්‍යොතිෂය පොතපතෙහි නොමැත. කෙසේ වෙතත් මෙලෙස සව්‍ය හා අපසව්‍ය ලෙස නැකත් වර්ග කිරීමේදී කාණ්ඩ 6කට බෙදනු ලැබේ. එහිදී නැකැත් චක්‍රයේ නැකැත් උදාවන අනුපිළිවෙළටම පළමුවන නැකැතේ සිට 6 වන නැකැත දක්වා සටහන් කර නැවත 7 වන නැකතේ සිටද ඉහත ලෙසම 1 සිට 6 දක්වා කාණ්ඩවලට අනුරූපව සටහන් කරනු ලැබේ. මේ ආකාරයට නැකැත් 27 පෙළගැස්වීමෙන් සව්‍ය හා අපසව්‍ය නැකැත් කාණ්ඩ ලබාගත හැක. මෙහිදී 1, 2, 3 යන කාණ්ඩ අංක යටතට වැටෙනා නැකත් සව්‍ය නැකැත් ලෙසද, 4, 5, 6 යන අංක යටතට වැටෙනා නැකැත් අපසව්‍ය නැකැත් ලෙසද වේ. මේ ආකාරයට නැකැත් 27 බෙදා දැක්වීමේදී 1, 2, 3 යන කාණ්ඩ අංක යටතේ සව්‍ය නැකැත් කොටසට නැකැත් 15ක්ද, 4, 5, 6 යන කාණ්ඩ අංක යටතේ අපසව්‍ය නැකැත් කොටසට නැකැත් 12ක්ද අයත් වේ.

මෙම කාලචක්‍ර දශා ක්‍රමය ග්‍රහයන්ගේ දශා ක්‍රමයක් නොව රාශි දශා ක්‍රමයකි. කාලචක්‍ර දශා ගණනය සඳහා දශා චක්‍ර අත්‍යවශ්‍ය වේ. එම දශා චක්‍රද දෙයාකාරය. එනම් සව්‍ය චක්‍රය හා අපසව්‍ය චක්‍රය ලෙසය. මෙහිදී ජන්ම නැකැත අයත් වනුයේ සව්‍ය නැකැතට නම් අදාළ කාලචක්‍ර දශාව දක්ෂිණාවෘත ලෙසද, ජන්ම නැකැත අයත් වනුයේ අපසව්‍ය නැකතකට නම් අදාළ කාලචක්‍ර දශාව වාමාවෘත ලෙසද වේ. නැකැත් 27 සව්‍ය හා අපසව්‍ය නැකැත් ලෙස බෙදී යන ආකාරය පහත දැක්වේ.

තවද නැකතකට පාද 4 බැගින් නැකැත් 27ට නැකැත් පාද 108කි. එලෙසටම සව්‍ය නැකැත් 15ට අදාළව එක් නැකතකට පාද 4 බැගින් නැකැත් 15ට නැකැත් පාද 60කි. එසේම අපසව්‍ය නැකැත් 12ට අදාළව එක් නැකතකට පාද 4 බැගින් නැකැත් 12ට නැකැත් පාද 48කි. උත්ත සව්‍ය නැකැත් 15 සඳහා නැකැත් පාදයකට අදාළව අංශක දශාව ලෙස මේෂයේ සිට මීනය දක්වා නවාංශක පෙළගස්වා ඇත. එහෙත් අපසව්‍ය නැකැත් 12 සම්බන්ධව නැකැත් පාදයකට ගැළපෙන ආකාරයෙන් අංශක දශාවේ නවාංශක පෙළගස්වා නොමැත. සව්‍ය හා අපසව්‍ය නැකැත්වල පවතින වෙනස මෙම අංශක දශා වෙනසයි. තවද මෙම අංශක දශාවට අනුරූපව මුළු දශා වර්ෂ ප්‍රමාණයද දක්වා ඇත. මෙහිදී සව්‍ය වුවද අපසව්‍ය වුවද එකම අංශක දශා නවයට හිමි මුළු දශා වර්ෂ ප්‍රමාණය සමානය. මෙහිදී අංශකය යනුවෙන් දිගින් දිගටම සඳහන් වනුයේ නවාංශකයම වේ. එහිදී තේජෝ නවාංශකයකට කාලචක්‍ර දශාව අවුරුදු 100ක් ලෙසද, පඨවි නවාංශකයකට කාලචක්‍ර දශාව අවුරුදු 85ක් ලෙසද, වායෝ නවාංශකයකට කාලචක්‍ර දශාව අවුරුදු 83ක් ලෙසද, ආපෝ නවාංශකයකට කාලචක්‍ර දශාව අවුරුදු 86ක් ලෙසද වේ. නවාංශකයනට අනුරූපව අංශක දශාව ඉහත ආකාර වුවද රාශියනට අනුරූප රාශි දශාව පහත ආකාරවේ.

ජන්ම නැකතේ නැකැත් පාදයට හිමි ආරම්භ කාල චක්‍ර දශාවේ සිට රාශි දශා 9ක එකතුවෙන් එක් එක් අංශක දශාවට අනුරූපව එහි මුළු දශා වර්ෂ ප්‍රමාණය ලැබේ. මෙය පහසුවෙන් අවබෝධ කර ගැනීමට නම් කාලචක්‍ර දශාවට අදාළ සව්‍ය චක්‍රය හා අපසව්‍ය චක්‍රය අවශ්‍ය වේ. එම චක්‍ර දෙක මා මෙම ලිපියේ සඳහන් නොකළේ එය දක්ෂ ගුරු ඇසුරක් තුළින් ක්‍රමානුකූලව, විධිමත්ව උගතයුතු බැවිනි. තවද මේ සම්බන්ධව නිවැරැදිව හැදෑරූ කාල උපන් නැකතේ නැකැත් පාදය අනුව කාලචක්‍ර අංශක දශාවද චන්ද්‍රයා නැකැත් පාදයේ ගමන් කළ ප්‍රමාණයට සාපේක්ෂව දශා අපහරණයද සෙයාගත හැක. තවද මෙම රාශි දශා පිළිබඳව සලකා බලන කල එක දිගට රාශි දශා ගමන් කිරීම සේම ඇතැම් විට රාශි දශා පැනීමක්ද රාශි දශා ආපස්සට ගමන් කිරීමක්ද සිදුවන බව දැකිය හැක. එසේ රාශි දශා පැමිණීමේදී එකම අංශක දශාවක් තුළ එකම රාශි දශා නවය දෙවතාවක් යෙදෙන අවස්ථාද ඇත. එනම් එකම අංශක දශාව තුළ එකම රාශි දශාව දෙවරක් ලබයි. ඉහත සඳහන් ලෙසට රාශි දශාවන්ගේ හැසිරීම පදනම් කරගනිමින් ඊට අදාළ පලාපල පවසනු වස් රාශි දශාව ගති 7කට වර්ග කර ඇත. ඒ මෙසේය.
* ජල ගතිය
* තුරඟ ගතිය
* සංහාවලෝකන ගතිය
* කුක්කුට ගතිය
* මයුර ගතිය
* මණ්ඩුක ගතිය
* සර්ප ගතිය
කාලචක්‍ර දශාවේ සව්‍ය හා අපසව්‍ය චක්‍රවල රාශි දශාවනට අනුරූපව උක්ත ගති 7 නිර්මාණය වනුයේ මෙසේය.

  1. මේෂයේ සිට ධනුවටද, වෘශ්චිකයේ සිට මීනයටද රාශි දශා වෙනස් වීම තුරඟ ගතියයි.
  2. මීනයේ සිට වෘශ්චිකයටද, ධනුවේ සිට මේෂයටද ලෙස රාශියකින් 5 හෝ 9 ලෙස රාශි දශා වෙනස් වීම සිංහාවලෝකන ගතියයි.
  3. මිථුනයේ සිට සිංහයටද, සිංහයේ සිට මිථුනයටද ලෙසත් එක් රාශියකින් පසුපසට තවත් රාශියක් ආකාරයට රාශි දශා වෙනස් වීම කුක්කුට ගතියයි.
  4. සිංහයේ සිට කටකයට රාශි දශාව වෙනස් වීම මයුර ගතියයි.
  5. කන්‍යාවේ සිට කටකයට රාශි දශා වෙනස් වීම හෙවත් රාශියක් හැර රාශියක් පැනීම මණ්ඩුක ගතියයි.
  6. කටකයේ සිට සිංහයට රාශි දශාව වෙනස් වීම සර්ප ගතියයි.
  7. වාමාවෘතව හා දක්ෂිණාවෘතව යන ක්‍රම දෙකටම පිළිවෙළින් නොනැසී එක දිගට යන්නාවූ දශා වෙනස් වීම ජල ගතියයි. උක්ත ගති 7 අතුරින් මණ්ඩුක, කුක්කුට හා සිංහාවලෝකන ගති අසුබය.

    තවද සව්‍ය නැකැත් චක්‍රයේ මණ්ඩුක ගතිය පවතින කාල දෙමාපිය ඥාති හිතමිත්‍රාදීන්ට විපත් ඇතිවේ. සතුරන්ගෙන් වස විසවලින් මෙන්ම ආයුධවලින්ද විපත් ගෙනදේ. රාජ භය මෙන්ම අසනීප තත්ත්වද ඇතිවේ. එසේම කුක්කුට ගතිය පවතින කල ධන හානි, වස්තු, දේපොළ හානි, පියාට මෙන්ම වැඩිහිටි ඥාතීන්ට මාරක අපල හා අලස බව ගෙනදේ. එසේම සිංහාවලෝකන ගතිය පවතින කල සතුන්ගෙන් පීඩා, ඥාති මිත්‍රාදීන්ට මාරක, ජලයේ ගිලීම් හදිසි අනතුරු රෝගාබාධ, වස විස හානි මෙන්ම පදිංචි ස්ථානයේ විනාශයද ගෙනදේ.

    අපසව්‍ය නැකැත් චක්‍රයේ මණ්ඩුක ගතිය පවතින කල බිරියට මෙන්ම දුවා දරුවන්ට විපත්, අසනීප ගති ගෙනදේ. එසේම කුක්කුට ගතිය පවතින කල හදිසි අනතුරු, පියාට විපත්, රාජ්‍ය දඬුවම්, දුෂ්කර ප්‍රදේශවලට ස්ථාන මාරු ආදිය ගෙනදිය හැක.
    කාලචක්‍ර දශාව පදනම් කර පලාපල ගොනු කිරීමේදී මෙම දශා ක්‍රමය රාශි දශා ක්‍රමයක් බැවින් ඒ ඒ දශාවට හිමි රාශියෙහි බල දුබලතාවය හොඳින් තක්සේරු කරගත යුතුය. ඒ සඳහා අදාළ රාශි අධිපතියාගේ තත්ත්වයද එම රාශි අධිපතියා සම්බන්ධ සුබ අසුබ යෝග ආදියද එම රාශි අධිපතියාට වැටෙනා සුබ අසුබ ග්‍රහ දෘෂ්ටි ආදියද ආදීකොට ඇති මෙකී නොකී සියල්ල සැලකිය යුතුමය. එලෙස සොයාබැලීමේදී අදාළ රාශියේ බල දුබලතාවය මනාව අවබෝධවේ. තවද විංශෝත්තරී දශා ක්‍රමයේදී සේම ජන්මියකු උපත ලබන විට පවතින කාලචක්‍ර දශා ශේෂය සොයා එම ජන්මියා උපන් දිනයට එකතු කිරීමෙන් එතැන් සිට අවශ්‍ය දිනය දක්වා පැවතුණ කාලචක්‍ර දශාවන්ද දැනට පවතින කාලචක්‍ර දශාවද සොයාගත හැක.
    ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here