ලංකාවේ අපි හදපු ලස්සනම සරුංගල් වර්ග 7ක් – Lakviru Media Network

0
1943


 

ඉස්සර අපි ඉස්කෝලෙ අගෝස්තු නිවාඩුව එනකම් බලාගෙන ඉන්නෙ සරුංගල් අරින්න. ඒ කාලෙට සරුංගලයක් ඇරියෙ නැත්නම් නිවාඩු කාලෙම කිසි ගතියක් නැතිව යන තත්වයක් තිබ්බෙ.

උණ පටි, ඉරටු, කිතුල් කෝටු වලින් සැකිල්ල හදල සව් කොළ, ඉටිකොල වලින් සරසල ගත්ත සරුංගල් ජාති බොහොමයක්ම තිබ්බ. ඒ විතරක් නෙමෙයි එක එක ප්‍රමාණයේ සරුංගල් අරින්න පාවිච්චි කරපු වෙනස් වෙනස් නූල් වර්ගත් තිබ්බ. පටුස් නූල්, තංගුස් නූල්, නයිලෝන්, හීන් දෙපොට තුන්පොට වගේ නම් වලින්. සරුංගලේට නූල් දෙන්න ගිහින් මෙවට අපේ පුංචි අත් කැපිල ගිය වාරනම් අනන්තවත් ඇති.

වෙලාවකට සරුංගලේ කැඩිල ගිහින් ගස් වල රැඳිල ඉරුනත්, සරුංගලේට අයිති නූල් එකතු කරන්න මාර තරඟයක් තමයි අපෙත් වටපිටේ හිටපු අනිත් ළමයිනුත් අතරෙ තිබ්බෙ. කඩාගෙන යන සරුංගලයක් පස්සෙන් වෙන කාටත් කලින් ලුහුබැඳල පුලුවන්නම් සරුංගලෙත්,එහෙම නැත්නම් නූල් ටික හරි ඔතාගෙන ගේන එක ඒ කාලෙ හැටියට ලොකු වීර කමක්.

දැන් කාලෙ පුංචි ළමයින්ට නම් සරුංගලයක් හදාගන්න තේරුමක් නෑ. සමහර දෙමවුපියනුත් සරුංගලයක් හදල දෙන්න දන්නෙ නෑ. ඉතින් මේ තත්වයන් යටතේ සරුංගල් කියන්නෙ එන්න එන්න අපේ රටෙන් ඈත් වීගෙන යන කලාවක් කියල තමයි හිතෙන්නෙ. ඉස්සර තරම් ලස්සන, විවිධාකාර සරුංගල් දැන් අපේ අගෝස්තු අහස අරක් ගන්නෙ නෑ. ගෝල්ෆේස් එක වගේ වටපිටාවක ඇරුණහම දැන් දැන් වෙළ් එළිවල, පිට්ටනිවල සරුංගල් අරින ළමයි දකින්නත් දුර්ලභයි.

ඉතින් යාලුවනේ, සරුංගලයක් වගේ සැහැල්ලුවෙන් ගෙවපු ඒ කාලෙ හදපු සරුංගල් කීපයක් ගැන මතක් කර ගමුද? මෙතන නැති සරුංගල් වර්ග තියනවනම් අපිට ඒ ගැන සඳහනක් කරන්නත් අමතක කරන්න එපා.

 

1. කොම්බුවා

කොම්බුවා සහ වවුල තමයි ඒකාලෙ වැඩිපුරම හදපු සරුංගල් දෙක. කොම්බුවා හදනකොට නූල ගැටගහන සේරියාව ගානට බැලන්ස් කරන්න දැනගෙන ඉන්න ඕනෙ. නැත්නම් සරුංගලය කැරකිලා බිම වැටෙන්න බලනවා. ඒ පැත්තට මේ පැත්තට කැරකෙන එකට සරුංගල් භාෂාවෙන් කියන්නෙ කූරියා ගහනව කියලයි. ඉතින් කූරියා නොගහන විදිහට කොම්බුවෙක් හදන එකත් ලොකු දක්ෂකමක් තමයි.

හැදුවට පස්සෙත් හදිස්සියේ ඒ පැත්තට මේ පැත්තට කොම්බුවා ඇළ වෙනවනම් ඒකටත් ක්‍රම සහ විධි අපි ගාව තිබ්බ. එක ක්‍රමයක් තමයි එක පැත්තක රැළි කඩල සරුංගලේ බැලන්ස් කරන එක. උඩු ගුවනෙදි නිකන් පැත්තට වගේ යනවනම් සරුංගලේ නූල ටිකක් ඇදල ගස්සල අත අරිනවා. ඒකට කිවුවෙ “නිච්චි දෙනව” කියලයි.

 

2. වවුලා

වවුලත් කොම්බුවා වගේම තමයි. හැබැයි කොම්බුවාගෙ එන හොට වවුලගෙ එන්නෙ නෑ. හොට කියල කිවුවෙ සරුංගලේ උඩ කෙළවර දක්වා විහිදෙන රැළි සහිත කූරට. ඒ වෙනුවට සමහරු වවුලාගේ යට කොටසට රැළි දානව.

කොම්බුවා කූරිය ගහල හොට කැඩුන වෙලාවට ටක් ගාල කැඩුනු හොට අයින් කරල යටට නැට්ටක් දාල වවුලෙක් කරල ගන්න පුලුවන්. වවුල් සරුංගලයක් අරිමින් ඉන්න වෙලාවක අහල පහලක තවත් හොඳ සරුංගලයක් දැක්කොත් වවුලගෙන් මාට්ටුවක් දාල ඒ සරුංගලෙත් ඩැහැගන්න අපි උත්සාහ කරන අවස්ථා තියනවා. ඒව ඉතින් හොරකම් වලට වඩා අහිංසක වීරකම්.

 

3. මොනරා
Source - exploresrilanka.lk
Source – exploresrilanka.lk

මොනර කියන්නෙ ඉස්සර අපේ ප්‍රියතම සරුංගලයක්. කොම්බුවා වගේම උඩ කොටසක් තියෙන මේ සරුංගලයට යටින් තව මොණර පිළක් වගේ ත්‍රිකෝණාකාර කොටසක් එකතු වෙනව. ඒකෙත් ලස්සනට රැළි දානව. මොණරට එක එක විදිහෙ මෝස්තර දාල සවුකොළ ඇලෙවුවම හරිම ලස්සනයි. ඒ කාලෙ ඉංග්‍රීසි කොඩියෙ හැඩේට සවුකොළ ඇලෙවුවහම මොණර සරුංගලේ මාර ගතියක් තිබ්බ.

අදක ඊයෙක නෙමෙයි මීට දශක ගණනාවකට එපිටදිත් මොනරා මෙහෙ ජනප්‍රිය සරුංගලයක්ව තිබුණ බවට සාක්ෂි තියනවා. ලෝකයේ සරුංගල් පිළිබඳ විශාලම තොරතුරු එකතුවක් තිබෙන Drachen Foundation වෙබ් අඩවියෙන් හමුවන 1970 දශකයේ ශ්‍රී ලංකාවේ මොනර සරුංගලයක් පින්තූරයක් තමයි මේ.

Source - drachen.org
Source – drachen.org

 

4. මාලුවා

මාලුවා මොණරට හැඩයෙන් සමානයි. හැබැයි මොණර සරුංගලයෙ එන යට කොටස කවාකාරව දෙකට බෙදිලයි තියෙන්නෙ. සමහරු මොනරු හදන්න අරගෙන පස්සෙ අදහස වෙනස් කරල මාලුවො හදන වෙලාවලුත් තියනව. මාලුවත් හරිම ලස්සන සරුංගලයක් තමයි.

මේ වගේ සමහර සරුංගල් උඩ ඇරියම් බාන්නත් ලෝබයි. සමහර වෙලාවට උදේ උඩ අරින සරුංගලේ ගහක ගැටගහල තියල, මැච් එකක් දෙකක් ගහල දවල්ට ගෙදරිනුත් කාල ඇවිත් හවස් වෙලා තමයි බාන්නෙ. සමහරු නම් රෑටත් උඩ තියෙන්න අරිනව බකට් එහෙම නූලට ගැට ගහල. හැබැයි ඒවානම් හරිම අනතුරුදායක දේවල්.

 

5. ගෙම්බා

ගෙම්බා සරුංගලේ කියල අපි හැඳින්වුවෙ නැට්ට නැති නයා සරුංගලේටම තමයි. නයෙක් හදන්න හිතල සවුකොළ වලට සල්ලි මදි උනොත් හරි කම්මැලි හිතුනොත් හරි තියන හදිස්සියට ගෙම්බව අරිනවා. පස්සෙ දවසක ආයෙ නැට්ටක් දාල නයා කරල ගන්නවා.

අනිත් සරුංගල් වගේ නෙමෙයි මේක පහල කොටස හතරැස් හැඩයක් තමයි ගන්නෙ.  මේ තියෙන්නෙ ගෙම්බා සරුංගලේ. එච්චරම ලස්සන නැති උනත් මේකත් අපි හදපු සරුංගල වර්ගයක්.

 

6. නයා
Source - youtube.com, exploresrilanka.lk
Source – youtube.com, exploresrilanka.lk

නයා අරිනව කියල කතාවකුත් තියනවනෙ. නයා අරිනවාය කියල කියන බොරු සෝබන කතා වගේ නෙමෙයි මේ නයා ඇරිල්ල නම් ඉතා දැකුම්කලුයි.

නයා කියන්නෙ ඉහල අහසෙදි හරිම ලස්සන සරුංගලයක්. නයා සරුංගලේ ලස්සන එන්නෙ ඒ සරුංගලයට එන දිග නැට්ටෙන්. “ප” අකුරක් එහෙම දාල සරුංගලේ සැකිල්ල අලවල, ගැලපෙන පාට කිහිපයකින් වයිරම් නැට්ටක් දැම්මම ඇත්ත නයෙක්වත් සිහිකරනව. සමහර වෙලාවට සාරිත් යොදාගන්නව මේ නැට්ට නිර්මාණය කරන්න. අඩි පහලව විස්ස විතර දිග නැට්ටවල් දාන වෙලාවලුත් තියනව නයා සරුංගලේට.

 

7. පෙට්ටි සරුංගලේ
Source - clareloves.co.uk
Source – clareloves.co.uk

පෙට්ටි සරුංගලේ ජපානය වගේ විදෙස් රටකින් ආපු සරුංගලයක් කියල තමයි හිතෙන්නෙ. පෙට්ටි සරුංගල් නම් නිතර හැදුනේ නැහැ. ඒත් පිට්ටනි වල, වෙල් එළිවල සරුංගල් යවනකොට එක්කෙනෙක් දෙන්නෙක් අතේ මේ වගේ සරුංගලුත් තිබෙනව.

 

ඉතින් යාලුවනේ, එක එක පළාත් වලට අනුව වෙනස් වෙනස් හැඩතල වලින් සහ නම් වලින් යුතු තවත් මේ වගේ සරුංගල් ඇති. ඔයාල පුංචි කාලෙ ඇරපු තවත් මේ වගේ සරුංගල් තියනවනම් ඔයාලට පුලුවන් අපිත් එක්ක ඒ තොරතුරුත් බෙදාගන්න.
 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here