ලෝකයේම කතාබහට ලක්වුණ ආර්ථව දුගී භාවය

0
32


ආර්ථව දුගීබව කියන්නෙ ලංකාවේ අපිටනම් ටිකක් නුපුරුදු මාතෘකාවක්. ආර්ථවය ගැනවත් ප්‍රසිද්ධියේ කතාබහ නොකරන අපිට මේක ටිකක් දුර මාතෘකාවක්. මොකද ලංකාව ඇතුළු බොහොමයක් ආසියාතික රටවල මේ කාන්තාවන් හා සම්බන්ධ ආර්ථවය වගේ මාතෘකා ඉතාම රහසේ සාකච්ඡා වෙන සැඟවිය යුතු මාතෘකා කියල තමයි සමාජයේ පිළිගැනෙන්නේ. හැබැයි ලෝකයේ හුඟක් දියුණු රටවල් වල වගේම නොදියුණු තුන්වන ලෝකයේ රටවල් වල පවා අද වෙද්දී හුඟක් කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ ආර්ථව දුගීබාවය කියල කියන්නෙ. කතාබහ නොකළත්, අඩු ගාණෙ අහලවත් නොතිබ්බත් ලංකාවේ අපිත් මුහුණදෙන ගැටළුවක් තමයි මේ. ඉතින් අපි හිතුවා මේ නුපුරුදු මාතෘකාව ගැන හැමෝටම දැනගන්න ඒ ගැන වැඩිදුර විස්තර ටිකක් කතා කරන්න. 

 

1. මොකක්ද මේ ආර්ථවය?

ආර්ථවය කියල කියන්නෙ සරලවම වැඩිවිය පත්වුණ, ඒ කියන්නෙ දරු ගැබක් දැරිය හැකි සුදුසු වයස සීමාවේ පසුවෙන කාන්තාවකට මාස්පතා සිදුවෙන ඔසප් වීම. මේ කියපු විදිහේ සුදුසු වයස් සිමාවේ පසුවන සෑම කාන්තාවකගේම ගර්භාෂය හැම මාසෙකම දරු පිළිසිඳ ගැනීමක් සඳහා සුදානම් වෙනවා. ඒ කියන්නෙ ඩිම්බ කෝෂ වලින් සංසේචනයට අවශ්‍ය ඩිම්බයක් පිට කෙරෙනවා එක්කම ගර්භාෂ බිත්තියට ඇතුළු පැත්තෙන් කළලයට සුදුසු පරිසරය සකස් කරන්න තුනී බිත්තියක් බැඳෙනවා. ඒත් දරු පිළිසිඳ ගැනීමක් උනේ නැති උනහම මේ තුනී බිත්තිය කැඩිලා යෝනි මාර්ගය හරහා රුධිරය විදිහට පිටවෙන එක තමයි මාසික ඔසප් වීම, එහෙමත් නැත්තම් ආර්ථවය කියල සරලවම හැඳින්වෙන්නෙ.

 

2. ආර්ථව දුගීබව

ඉතින් මොකක්ද මේ ආර්ථව දුගීබාවය කියල කියන්නෙ. නැහැ නැහැ. මේක රෝගයක් නෙමෙයි. මේක සමාජමය කාරණාවක්. දැන් අපි කලින් කිව්වනෙ සුදුසු වයසේ පසුවෙන සෑම කාන්තාවක්ම මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයක් කියල මේ ඔසප් වීම එහෙමත් නැත්තම් ආර්ථවය කියන්නේ. ආර්ථව දුගීබාවය කියල කියන්නෙ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට මෙන්න මේ ඔසප් කාල සීමාව ඇතුළත සුදුසු සනීපාරක්ෂක පහසුකම් ඒ කියන්නෙ සනීපාරක්ෂක තුවා, නියමිත වැසිකිළි පහසුකම් වගේ දේවල් නොලැබීයාම. ඒ වගේම සමාජයේ මුල් බැසගත් මිත්‍යා මත, සම්බාධක නිසා මේ ඔසප් කාලසීමාව යම් ගරුත්වයක් ඇතුව ගත කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති වීම. සරල උදාහරණයක් කිව්වොත් මෙහෙමයි. අපේ අසල්වැසි ඉන්දියාව වගේ අතිශය සාම්ප්‍රදායික රටවල් වල තවමත් මේ කාන්තාවන් සහ ඔසප්වීම ගැන තියෙන්නෙ හරිම මිත්‍යා මත. ඒ නිසාම ඔසප් දිනවලදී නිවසේ කාන්තා සාමාජිකාවන්ට නිවසින් පිටත අපිරිසිඳු මඩුවක වගේ තැනක ඉන්න සලස්වන එක තවමත් සමහර ඉන්දියානුවන්ගේ පුරුද්දක්. 

අපේ ලංකාවේ උනත් හරිහමන් සනීපාරක්ෂක ඇඟළුම්, වැසිකිළි හා ජල පහසුකම් නොමැතිකමෙන් මේ ඔසප් කාලයට පාසල් පවා නොඑන දරුවන් ග්‍රාමීයව ඕනතරම් ඉන්නවා. 

 

3. මෙන්සස් බද්ද

ඒ පාර ඔසප් වීමටත් බදු ගහලද? නැහැ නැහැ. සෘජුවම ඔසප් බද්දක් කියල එකක්නම් තවම වාසනාවට හඳුන්වල දීල නැහැ. ඒත් ඔසප් වීමටත් වක්‍රාකාරව බදු අයවෙනවා. ඒ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මත අයවෙන බදු වලින්. ලංකාවේ දැනට මේ සඳහා 52%ක් වගේ ඉහළ බද්දක් අය කෙරෙනවා. ඒ හේතුවෙන් ඉතාම දුගී පවුල්වලට දරන්න බැරි ඉහළ සනීපාරක්ෂක නිෂ්පාදනයක් බවට මේ සනීපාරක්ෂක තුවා පත්වෙලා තියෙනවා. ඒ නිසාම දුගී පවුල්වල කාන්තාවන් ලංකාවේ දැනට විශාල ගැටළුවක් වෙලා තියෙන ගැබ්ගෙල පිළිකා තත්ත්වයන්ට ලේසියෙන්ම පත්වෙන්න පුළුවන් අවදානම ඇති කරන අපිරිසිඳු රෙදි ඔසප් කාලයේදී භාවිතා කරන්න වැඩිපුර පෙළඹෙනවා.

හැබැයි ලෝකයේ තත්ත්වය මීට වඩා වෙනස්. ලෝකයේ මේ ගැන වැඩිපුර කතාවෙන හුඟක් රටවල් සනීපාරක්ෂක නිෂ්පාදන මත අයකෙරෙන බදු අවලංගු කරන්න අවධානය යොමු කරල තියෙනවා. මුලින්ම මේ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මත අයකෙරෙන බදු අවලංගු කරපු රට බවට පත්වෙන්නෙ කෙන්යාව. ඒ 2004 වර්ෂයේදී. මේ වෙනකොට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, අයර්ලන්තය සහ මැලේසියාව කියන රටවලුත් මේ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මත අයකෙරෙන බදු අවලංගු කරලා තියෙනවා. 

 

4. මානව අයිතිවාසිකම සහ ආර්ථව දුගීබව

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට අනුව ඔසප්වීම සහ ඒ හා සම්බන්ධ ඔසප් සනීපාරක්ෂාව කියන්නේ කාන්තාවකගේ ආත්ම අභිමානයට සෘජුවම සම්බන්ධ වෙන කාරණාවක්. ඔසප් කාලයේදී ඒ කටයුතු නිසියාකාරව සිදුකරගන්න අවශ්‍ය ජලය, සනීපාරක්ෂක නිෂ්පාදන වගේම ඔසප් සනීපාරක්ෂාව තහවුරු කරගන්න අවශ්‍ය අනෙකුත් සාධක නැතිවෙනවා කියල කියන්නෙ කාන්තාවකට ඒ අදාළ කාලය අභිමානයෙන් ගත කරන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ස්ත්‍රී පුරුෂ අසමානතාවය, අධික දරිද්‍රතාවය, මානුෂීය අර්බුද, හානිකර යල්පැනගිය සම්ප්‍රදායන්, වගේ දේවල් නිසා කාන්තාවකගේ ඔසප් කාලසීමාව ඉතාම අප්‍රසන්න, කරදරකාරී කාලසීමාවක් බවට පත්විය හැකියි වගේම ඒ නිසා ඔවුන්ගේ මානව හිමිකම් නිදහසේ භුක්ති විඳීමේ ඉඩකඩ සීමාවෙනව කියල තමයි මේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ප්‍රකාශ කරන්නෙ. 

 

5. ආර්ථව දුගීබවට හේතු

කලින් විස්තර කළා වගේම විවිධ හේතු නිසා මේ ආර්ථව දුගීබාවය ඇතිවෙන්න පුළුවන්. හරියටම කිව්වොත් මෙන්න මේ හේතු.

  • අධික දරිද්‍රතාවය – සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ දුගීම පවුල්වල මාසික ඇස්තමේන්තුගත ආදායම රුපියල් 14,843ක් වගේ ඉතාම පොඩි මුදලක්. ඒ මුදලෙන් පවුලක ආහාර, නිවාස වගේ අනෙක් සියලුම පහසුකම් සම්පූර්ණ කරන අතරේ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන වලට මුදලක් වෙන් කරන්න ඔවුන්ට ඉතාම අපහසුයි.
  • ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන වල මිල ඉහළ වීම.
  • ජලය සහ වැසිකිළි පහසුකම් නොමැතිවීම.
  • යල්පැනගිය සමාජ දුර්මත.
  • දෙමව්පියන්ගේ නොසැලකිල්ල.

 

6. පීඩා විඳින පිරිස

අපිට බැලු බැල්මටනම් පේන්නේ මේ ආර්ථව දුගීබාවය කියල කියන්නෙ ඔසප් වීමට මුහුණ දෙන කාන්තාවන්ට විතරක්ම මුහුණ දෙන්න වෙන තත්ත්වයක් කියලයි. හැබැයි ගැඹුරින් හිතුවහම ඒක ඔවුන් එක්ක ජීවත් වෙන පවුලේ අයට වගේම සමස්ථ රටටම බලපෑම් ඇතිකරනවා. ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන ලොකුම සෞඛ්‍ය ගැටළුවක් වෙලා තියෙන ගැබ්ගෙල පිළිකා වලට ප්‍රධානම හේතුවක් විදිහට මේ ඔසප් සනීපාරක්ෂාවේ ගැටළු සඳහන් වෙනවා. ඒ වගේම මේ ආර්ථව දුගීබාවය හේතුවෙන් ඔසප් කාලයේදී කාන්තාවන්ගෙන් රටේ ආර්ථිකයට සිදුකෙරෙන දායකත්වය අහිමි වීමත් තවත් ගැටළුවක්.

 

7. මේ ගැටළුවට විසඳුම

අද වෙද්දී මේ ආර්ථව දුගීබාවය ලෝකව්‍යාප්ත ගැටළුවක් විදිහට හඳුනාගෙන තියෙනවා. මේ ගැටළුවට විසඳුමක් විදිහට ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලයේ සියළු දෙනාට ලබාදෙන පළමු රට බවට ස්කොට්ලන්තය පත්වෙලා තියෙනවා. ඒ වගේම අපි කලින් කියපු රටවල් ගණනාවක් ඔසප් සනීපාරක්ෂක තුවා මත අයකෙරෙන බදු අවලංගු කරන්න කටයුතු කරල තියෙනවා. 

ඒ වගේම මේ ඔසප් වීම හා ඒ ආශ්‍රිත සනීපාරක්ෂක කටයුතු පිළිබඳව මුල්බැසගෙන තියෙන දුර්මත සමාජයෙන් ඉවත් කිරීමත් අපි වගේ ආසියාතික රටවල මේ ආර්ථව දුගීබාවය දුරුකරන්න ගන්න පුළුවන් ලොකුම පියවරක්.

 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here