ලෝකයේ ජාතින් පහක් සෞභාග්‍ය එකමුතුකම ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මෙහෙමයි – Lakviru Media Network

0
196


 

බක් මාසේ කියන්නේ අවුරුදු සතුට ලංකාවේ අපේ යාලුවන්ගේ හිතට වගේම ගතටත් දැනෙන කාලයක්. එකමුතුකම, ආදරය විතරක් නෙවෙයි, කාලෙක තිස්සේ තියෙන හිත නොහොඳකම් පවා අත හැරලා දාලා සමගි සම්පන්න වෙන්න මේ කාලේ හරිම කදිමයි. ලෝකේ කොහේ හිටියත් මේ කාලේ තමන්ගේ අම්මලා, බිරින්දෑවරු, පෙම්වතියන් අතින් හැදෙන රස කෑම වේලක් රස බලන්නත් අපි කවුරු වුනත් හරි ආසයි.ඒ විතරක්ද? එකිනෙකාට කෑම බීම, තෑගී භෝග අරගෙන පරණ හිතවත්කම් අලුත් කරගන්න අපි ගම රටවල් බලා නෑගමුත් යනවා.

අපි අලුත් අවුරුදු කාලෙට පවුලේ අයත් එක්ක එකතු වෙලා මෙහෙම සමරනවා වගේම ලෝකේ අනෙකුත් රටවලත් නොයෙක් සංස්කෘතික උත්සව තියනවා තමන්ගෙ ගම් දනව් බලා ගිහිල්ල පවුලේ අයත් එක්ක එකට එකතුවෙලා සමරන.ලෝකේ පුරා වෙන කවුද එහෙම කරන්නේ? ඒ උත්සව මොනවද? ඒවාට උත්තර හොයාගන්න මේ ලිපිය කියවන්න.

 

1. චීන අලුත් අවුරුද්ද – චීනය
Family Festivals Around the World
Source – wikipedia.org

මෙය චීනයේ වසන්ත සැණකෙළි උත්සවය නමිනුත් හඳුන්වනු ලබනවා. ජනවාරි 21ත් පෙබරවාරි 20ත් අතර දිනයකදී තමයි මේ අලුත් අවුරුද්ද සමරනු ලබන්නේ. මේ අලුත් අවුරුදු දිනය ඔවුන්ගේ චීන සඳ හිරු දින දසුනේ දින වකවානු අනුව වෙනස් වෙන නමුත් මුළු චීනයම එකම සැණකෙළි සිරියක් ගන්න කාලයක් තමයි මේ කාලය. ඒ වගේම චුන්යුන් (Chunyun) නමින් හැඳිවෙන අලුත් අවුරුද්දට දින 15කට පමණ පෙර සිට දින 40ක් පුරා විහිදෙන කාල සීමාව තුළ තමයි ලෝකේ විශාලතම ජන සංක්‍රමණය සිදුවන්නෙ.

වාර්තා වෙන අන්දමට පුරා දින 40 පුරා පවතින මේ සැණකෙළි කාලය පුරාවට බිලියන 2.9 (ලෝක ජනගහනයෙන් 34%) පමණ වෙන චීන ජනකායක් සංක්‍රමණය වෙනවා.මෙයට හේතුව තමයි ලෝකේ වැඩිම ජනගහනයක් සිටින රට වෙන චීනයේ මේ උත්සවය නිසා බොහෝ නගර වැසියන් තමන්ගේ නෑදෑ හිතවතුන් දකින්නට තමන්ගේ ගම් රටවල් බලා ගමන් ආරම්භ කිරීම.

මේ උත්සව කාලයේදී ගම්බිම් බලා ඇවිත් තමන්ගේ පවුලේ අයත් සමග එක්වී සියලු දෙනාම සතුටු වෙනවා. විශේෂයෙන්ම අවුරුදු දාට කලින්දා “නැවත හමුවීමේ රාත්‍රී භෝජනය (Reunion dinner)” නමින් හඳුන්වන රාත්‍රී භෝජනය පවුලේ සියලු දෙනාම එකතුවී භුක්ති විඳිනවා. ඔවුන්ට අනුව අවුරුද්දේ වැදගත්ම භෝජනය තමයි මේ රාත්‍රී ආහාර වේල. මේ කාලය තුලදී වැඩිහිටියන් විසින් තමන්ගේ යැපෙන්නන්ට විවිධ ත්‍යාග රතු ලියුම් කවර වල (red envelops) බහා ලබා දෙනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නව වසරට සුභ පැතීම සහ සෞඛ්‍යමත් ඉදිරිකාලයක් පැතීමයි. මීට අමතරව පන්සල් ගොස් පුණ්‍ය කටයුතු වල යෙදීම, රතු පැහැති සැරසිළි වලින් අවට සැරසීම, රතිඤ්ඤා දැල්වීම ආදියද ඔවුන් සිදු කරනවා. කොහොමත් චීනය පුරාම සතුට පැතිරෙන කාලයක් විදියට මේ කාලය හඳුන්වා දෙන්න පුළුවන්.
 
https://www.youtube.com/watch?v=_u-R-aIq3_E

 

2. Thanksgiving– අමෙරිකාව/කැනඩාව
Family Festivals Around the World
Source – inquisitr.com

සෑම වසරකම නොවැම්බර් මාසයේ සිව්වන සතියේ බ්‍රහස්පතින්දාව මෙලෙසින් “Thanksgiving” දිනය ලෙස සලකන්නට පුරුදු වෙලා සිටිනවා. පවුල අතර සාමය සමගිය සමාදානය වැඩි දියුණු වීම පෙන්නුම් කරන මේ දිනය වඩා ප්‍රසිද්ධ ඇමරිකාව තුලයි. මීට අමතරව කැනඩාවේද ඔක්තෝබර් මාසයේදී මේ උත්සවය සමරනු ලබනවා.

වර්තමානයෙදී බොහොම වෙලාවට මේ “Thanksgiving” දිනයට පසු දිනය “black friday” දිනය වීම නිසා තරුණ පෙළ සිටින්නේ බොහොම කැමැත්තෙන්. මොකද ඒ දිනයේදී සියලුම වෙළඳ භාණ්ඩ වලට විශාල ලෙස වට්ටම් දෙමින් ව්‍යාපාරිකයින් පාරිභෝගිකයින් ආශක්ත කරගැනීමේ ක්‍රමවේදයක් පවතින බැවින්.

මේ Thanksgiving උත්සවය 1621දී ඇමෙරිකාවේ Plymouth වතුයායට පැමිණෙන ආගමික සරණාගතයින් (කිතුදහම ප්‍රචලිත කරන්නන්?) සහ ඇමෙරිකානු රතු ඉන්දියානු ස්වදේශිකයින් විසින් එක්ව පවත්වනු ලැබූ භෝජන සංග්‍රහයක් සංකේතවත් කරමින් පවත්වනු ලබන්නක්. පෙර වසරේදී නිසි කල භෝග වගා කර නොගැනීම නිසා ආගමික සරණාගතයින් භාගයකටත් වඩා මිය යන්නට වෙනවා. මේ ගැන දැනගන්නා වම්පනොන් (Wampanoag tribe) රතු ඉන්දියානු ගෝත්‍රය ඔවුන්ට තිරිඟු, ධාන්‍ය වවන්නට කියා දීම සහ එයින් සාර්ථක වීම තමා මේ දිනයෙන් සංකේතවත් වෙන්නේ.

මෙයට අමතරව මේ Thanksgiving දිනයේදී පවුලේ සියලුදෙනා එකට එකතුවී සතුටු සාමිචියේ යෙදෙමින් කල්ගත කිරීමත්, අල, කළුකුම් මස් සහිත පිරිපුන් කෑම මේසයක් පවුලේ අය සඳහා විවෘතව තිබීමත් නිසා, පවුලේ එකමුතුබව සහ සතුට යන දේවල් පිළිඹිබු වෙන වසරේ හොඳම උත්සවය විදිහට මේ Thanksgiving සමය හඳුන්වා දෙන්නට පුළුවන්.
 

 

3. දශායින් උත්සවය – නේපාලය
Family Festivals Around the World
Source – snowleopardtrek.com

දශායින් සැණකෙළිය කියන්නේ අපේ අලුත් අවුරුද්ද වාගේම නේපාලය තුල බොහොම උත්සවාකාරයෙක් පැවැත්වෙන සැණකෙළියක් කිව්වොත් නිවැරදියි. දුර්ගා මාතාවට උපහාර පුදමින්, ඇය නරක පරාජය කර යහපත ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මේ සැණකෙළි පවත්වමින් ඇය නමින් පූජාවන් කෙරෙනවා. කාර්තික් මාසය (සැප්තැම්බර් අවසානය සහ ඔක්තෝබර් මුල අතර කාලය) තුළදී තමයි මේ දශායින් සැණකෙළිය පවත්වන්නේ.

නේපාල දින දසුනේ දීර්ඝතම සැණකෙළිය සහ සුභම කාලය මෙය බවයි සඳහන් වෙන්නේ. දින 15ක් වැනි කාලයක් පවතින මේ උත්සවය අවසාන දිනයේදී නවසඳ උදාවීමත් සමගම අවසන් වනවා. මේ දිනයේදී වැඩිහිටියන් සහ නෑදෑ හිතවතුන් හමුවට ගොසින් ආශිර්වාද ලබාගැනීමද සිදුවනවා. අතොරක් නැති පුජා සහ සතුන් බිලිදීම් මේ කාලය ඇතුලත නේපාලය පුරා ම සිදුවෙනවා. බිලිදෙන සතුන්ගේ ලේ වලින් දෙව්දුවගේ පිළිමය නැහැවීම තුලින් ඔවුන්ගේ සියලු කරදර දුරු වී වාසනාව උදාවීම බලාපොරොත්තු වෙනවා.

ඒ වාගේම දුර පළාත් වල වෙසෙන්නන් පවුලේ නෑයින් සහ ඥාතින් බලන්නට තෑගි භෝග රැගෙන පැමිණීම වෙනත් රටවල වගේ නේපාලයේ දශායින් සැණකෙළි කාලය තුළදීත් සිදුවෙනවා.
 



 

4. ගලුන්ගන් උත්සවය – බාලි දූපත
Family Festivals Around the World
Source – thingstodoinbali.co.id

ඉන්දුනීසියානු බාලි දුපතේ සැමරුම් දිනයක් වෙන ගලුන්ගන් කියන්නේ අධර්මය පරාජය කරමින් ධර්මය දිනවීම එහෙමත් නැතිනම් අයහපතට එදිරිව යහපත ජයග්‍රහණය කරවීම පිළිඹිඹු කෙරෙන උත්සවයක්. ඉන්දුනීසියානු බාලි කැලැන්ඩර ක්‍රමයක් වෙන පවුකොන් දින දර්ශනය දින 210 පමණක් සහිතවයි පැමිණෙන්නේ. මේ දින දර්ශනයට අනුව සෑම මාස 7කට වතාවක් පමණ මේ ගලුන්ගන් උත්සවය පැවැත්වෙන අතර වසරින් වසරට මේ උත්සව දිනය වෙනස් වෙනවා.

දින 10ක් පමණ පැවැත්වෙන ගලුන්ගන් උත්සවයේ අවසාන දිනය ඔවුන් හඳුන්වන්නේ කුනිගන් කියන නමින්. ඒ වගේම මේ සැණකෙළි කාලය තුලදී උණගස් ආශ්‍රිත සැරසිලි බොහොමයක් භාවිතා වෙන බවත් කියන්නම ඕනේ.

ඒ විතරක් නොවෙයි අතීතයේ මිය පරලොව ගිය අය මේ කාලය තුලදී පොලවට පැමිණෙන බවට බාලි වැසියන් තුල පවතින විශ්වාසය නිසා ඔවුන්වත් සමරමින් ඔවුන්ට පුද පුජා පැවැත්වීම සහ පවුල් අතර සමගිය වර්ධනය වෙන ආකාරයට සාද පැවැත්වීමත් මේ කාලය ඇතුලත දී ඉන්දුනීසියාව පුරා පැවැත්වෙනවා.
 
https://www.youtube.com/watch?v=PIxsPV2SRi4

 

5. හෝලි සැණකෙළිය – ඉන්දියාව
Family Festivals Around the World
Source – travelpapa.com

මුළු ඉන්දියාවම වර්ණ වලින් සැරසෙන ලොව විශාලතම වර්ණවත් උත්සවය තමයි හෝලි කියන්නේ. විශේෂයෙන් දරුවන්ට බොහොම විනෝද කාලයක් විදියට හඳුන්වා දෙන්නට පුලුවන් සහ දෙමාපියනුත් මොහොතකට දරුවන් වගේ වෙන කාලයක් කියලා කියන්නට හැකි කාලයක් තමයි මේ හෝලි සැණකෙළි කාලය.

එකිනෙකාට වර්ණ ආලේප කරගනිමින් මිත්‍රත්වය වර්ධනය කරගන්නා මේ උත්සවය සතුට ආදරය පරිත්‍යාගය සහ එකමුතුකම වර්ධනය කරන සැණකෙළියක් බවට ඉබේම පත් වෙන බව කියන්නට හැකියි. ඒ වගේම මේ වර්ණවත් උත්සවය ගැන තවත් දෙයක් කියන්න තිබෙනවා. ඔවුන් අතරින් සමහරු මේ සැණකෙළි සමය තුලදී මරිජුවානා මිශ්‍රිත අපුරු පානයක් භාවිතා කරනවා. එයට කියන්නේ භන්ග් / bhang කියලයි. සමහර විට අවට පරිසරයේ ඇති වර්ණවත් ස්වභාවය හිතට තවත් කාවද්දන්නට මේ වගේ බීමක් භාවිතා වෙනවද කියලත් මේ ගැන දැනගත්තම අපිට  හිතුණා.

මාර්තු මාසය තුල යෙදෙන යම් දිනයක පැවැත්වෙන මේ සැණකෙළි කාලය තුල, දුර සිටින නෑසියන් වෙත යාම හෝ ඔවුන්ගේ දුකසැප විමසීම, එකට එක්වී හෝලි සැමරීමත් මේ කාලයේ කෙරනවා.
 

 

 


 
Cover Image Source – bubbasasia.com
 




Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here