විමල් හැදුවේ ජනපතියි අගමැතියි අතර ගැටුමක් හදන්න

0
27


කර්මාන්ත ඇමැති විමල් වීරවංශ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අතර ගිය සතියේ ඇතිවූයේ මහා සටනකි. ඒ සටන කොතරම් දුරදිග ගියේදැයි කියනවා නම් මින් පෙර එකට සිටි පොහොට්ටුවේ පාර්ශ්ව ඔවුන් දෙදෙනා වෙනුවෙන් දෙකට බෙදුණි. එහිදී විමල් පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ සාගර කාරියවසම් කියන්නේ කවුද යන්නය. ඇත්තටම කවුද මේ සාගර කාරියවසම්?
ඔහු 1960 සිට 1977 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයා වූ ඇල්බට් කාරියවසම්ගේ පුතාය. රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කර ඇති ඔහු දේශපාලනයට පිවිසෙන්නේ 2001 වසරේ සිටය. 2009 වසරේදී ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස පත්විය. ඉන්පසු ඔහු බෙන්තර ඇල්පිටිය ශ්‍රීලනිප සංවිධායක ධුරයට පත්විය. ඉක්බිතිව 2015 වසරෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇරඹූ විට එහි මහ ​ලේකම්වරයා වූයේ ඔහුය. මේ, සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විමල් වීරවංශ සමග ඇති වූ අර්බුදය ගැන දැක්වූ අදහස්ය.

ඇත්තටම මහින්ද සුළඟ බිහි වෙන්නෙ කොහොමද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියන දේශපාලන නායකයා වටේ. ඔහු ජනතා ආකර්ෂණය දිනාගත් නායකයෙක්. 2015 ජනවාරි 08 වැනි දින පැරදිලා එතුමා තංගල්ල නිවසට ගියා. මහින්ද සුළඟ හමන්න පටන් ගත්තේ ජනවාරි 09 වැනිදා සිටයි. එය කවුරුවත් ආරම්භ කළ දෙයක් නොවෙයි. මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී සිටින අහිංසක ජනතාව එතුමා බලන්න තම වියදමෙන් තංගල්ලට ආවා. යම්කිසි පුද්ගලයෙක් කියනවා නම් මම මහින්ද සුළඟ ඇති කළේ කියලා එය බොරුවක්.

ඔබ එසේ ප්‍රකාශ කළාට නිදහස් පෙරමුණේ නායකයා සඳහන් කළා මහින්ද සුළඟ පෙබරවාරි මාසය වනවිට ආරම්භ කිරීමට ඔහු මූලික වුණා කියලා?

මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගුණු ජන ගංගාව එකතු වූයේ ඔහු නිසයි. වෙන කවුරුත් නිසා නොවෙයි. එහෙම කවුරු හරි කියනවා නම් එය විහිළු කතාවක්. කවුරුවත් කියලා මිනිස්සු බස්වලින් තංගල්ලට ආවේ නැහැ. ඇතැම් මිනිස්සු වන්දනාවේ යනවා වගේ පොල් මල් ගහලා තංගල්ලට ආවේ. පැය ගණන් පෝලිමේ ඉඳලා මහින්ද මහත්තයාගේ මුහුණ බලාගත්තේ. එය පිටුපස පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටියේ නැහැ. එහෙම ඇතිවූ රැල්ල දේශපාලන ක්ෂේත්‍රයට ගෙන ඒමට අමාත්‍ය විමල් වීරවංශ දායකත්වයක් දැක්වූවා. . අනෙකුත් නායකයන්ද එය කළා. තනි පුද්ගලයකුගේ වැඩක් නෙවෙයි. බලවේග ගොඩනැගෙන්නේ ප්‍රතාපවත් චරිත වටා බව කියන්න ඕන.

මහින්ද සුළඟේ ආරම්භයේදී ඔබ සිටියේ කොහේද?

එක් එක් පුද්ගලයන් දායකත්වය දක්වන්නේ තමන්ගේ හැකියාව අනුවයි. මම නීතිඥවරයකු ලෙස ඊට අවශ්‍ය දායකත්වය දැක්වූවා. මහින්ද මහත්තයා දුන්නු උපදෙස් මත නීතිඥ සුමිත් විජේසිංහ ඇතුළු නීතිඥ කණ්ඩායමත් අපිත් එක්ක හිටියා. දේශපාලන මට්ටමෙන් කථිකයෙක් ලෙස අමාත්‍ය විමල් වීරවංශ ඊට දායකත්වය දැක්වූවා.

නමුත් අමාත්‍ය විමල් වීරවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරන්න දායකත්වය දැක්වූවානේ…
කිසිම දායකත්වයක් දැක්වූයේ නැහැ. අලුත් පක්ෂයක් බිහි කරන්න ඔහු කැමති වුණේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයක් බිහි කරන්න තමයි ඔහු උත්සාහ කළේ. අපි පක්ෂය නිර්මාණය කරන විට මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. අපි එතුමන්ව පරමාදර්ශී නායකයා හැටියට කටයුතු කරමින් තමයි පක්ෂය ගොඩනැගුවේ. පක්ෂය ගොඩනැගීමේ වගකීම, ගෞරවය හිමි විය යුත්තේ බැසිල් රාජපක්ෂ මහතාටයි. මම ඒ කර්තව්‍යය ඇස් දෙකෙන් දැක්කා. සුළු කාලයකින් පක්ෂය නිර්මාණය කර 2018 වසරේදී පළාත් පාලන මැතිවරණයද ජයගත්තා. එම ජයග්‍රහණයට පෙබරවාරි 10 වැනිදාට වසර තුනක්ද ගතවුණා.

විමල් වීරවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිය ඉල්ලුවත් ඔබලා එය ප්‍රතික්ෂේප කරනවා නේද?

මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ අමාත්‍යවරයා සතිඅන්ත පුවත්පතකට කළ ප්‍රකාශයත් සමගයි. මහින්ද මහත්තයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබුණා. මේ එතුමාගේ පක්ෂය නොවෙයි, තීරණ ගන්නත් බැහැ. ප්‍රකාශ දෙන්නත් බැහැ. අපි කියන්නේ අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකළා කියලා. අමාත්‍යවරයා දේශපාලනය හොඳට දන්නවා. අපි ඒකයි විරෝධය පළ කරන්නේ. ලොකු ප්‍රශ්නයක් ඇති කරලා බෙදීම් ඇති කරන්න උත්සාහ කරනවා.


Lakviru Media Network

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here